ගෝලීයකරණය සහ ජාතිකවාදය

 

ගෝලීයකරණය සහ ජාතිකවාදය

ලෝකයේ වරින්වර ඇති වූ නව ප්‍රවණතාවයන් හේතු කර ගනිමින් ලෝක ක්‍රමය වෙනස් වීය. ඒ අනුව සීතල යුද්ධය, එක්සත් ජාතීන් සංවිධානය හා අනෙකුත් ලෝක සංවිධානයන්, යටත් විජිතහරණය, තුන්වන ලෝකය, මැදපෙරදිග අර්බුදයන් යනාදිය ලෝක මට්ටමින් විවිධ පරාසයන්හි බලපෑම් ඇති කරන ලදී. ඒ අතරින් ගෝලීයකරණය තත්කාලීන වැදගත් සන්දර්භයකි. එය කාලීන සන්දර්භයක් ලෙස යුරෝපා කේන්ද්‍රීය සංකල්පයක් බව බොහෝ බුද්ධිමතුන් පැවසූවත් බොහෝ විචාරකයන්ගේ අදහස වන්නේ එය රෝම යුගය හෝ ඊට සමකාලීන පරාසයක් දක්වා විහිද යන්නක් බවයි. අතීතයේ ලෝකයේ ආසියාව, යුරෝපය, මැදපෙරදිග හා අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පැවති වෙළඳාම පිළිබඳව අධ්‍යනය කිරීමේ දී එය ගෝලීයකරණ සංකල්පයට සමාන නොවූවත් ගෝලීයකරණයේ මුල් අදියරෙහි එක් අවස්ථාවක් නියෝජනය කරන බව හඳුනාගත හැකිය. අතීත සේද මාවත හරහා ද සිදුවූයේ එවැනි ගෝලීයකරණයක් යැයි බොහෝ ඉතිහාසඥයන් සහ බුද්ධිමතුන් පෙන්වාදීමට උත්සහ කරති. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාව ගතහොත් අතීතයේ ලංකාව ප්‍රතිඅපනයනය මධ්‍යස්ථානයකි. එය පුරාවිද්‍යාත්මක සාධකයන් හරහා සාධනයවන්නා සේම විවිධ දේශීය, විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් හරහා ද සනාථවෙයි. ඒ හරහා අතීතයේ ආර්ථික අංශය කේන්ද්‍රකර ගත් ගෝලීයකරණයක් වූ බව සනාථ වෙයි. කෙසේ වෙතත් 19 වන සියවසේ මුල්කාලීනව නව න්‍යායක් ලෙස ආරම්භ වූ මෙය 1970 හා ඊට පසුකාලීන දශකයන් තුළ මෙය සීග්‍රයෙන් වර්ධනය වූවක් වීය. එය හුදෙක් එක් ක්ෂේත්‍රයක් අළලා ඇති වූවක් නොවීය. විවිධ පැතිකඩයන් ඒ ඔස්සේ ආවරණයට ලක් වීය. එහි දී ගෝලීයකරණ සන්දර්භය තුළ ජාතිකවාදය සමඟ යම් සබඳතාවයක් පවතින බව ඒ පිළිබඳව අධ්‍යනය කිරීමේ දී හඳුනාගත හැකිය. ඒ අනුව ජාතිකවාදය කෙරේ ගෝලීකරණය දක්වන සුභවාදී හා අසුභවාදී බලපෑම් පිළිබඳව මේ තුළින් අධ්‍යනය කරනු ලබයි. දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික වශයෙන් ගෝලීයකරණය විසින් ජාතිකවාදයට අත්කර දුන් ප්‍රතිඵල පිළිබඳව අධ්‍යනය කරනු ලබයි.

තත් සංකල්පයන් අධ්‍යනය කිරීමේ දී ගෝලීයකරණය යනු කුමක්දැයි හඳුනාගැනීම ද වැදගත් වෙයි. ගෝලීයකරණය හුදෙක් මෙයයැයි පැවසීමට අසීරු ඉතා පුළුල් විෂීය ක්ෂේත්‍රයක් ලෙස පෙන්වාදිය හැකිය. ඒ අනුව එය දේශපාලනික, ආර්ථික හා සන්නිවේද ක්ෂේත්‍රයන් ඔස්සේ වඩා පුළුල් ලෙස ව්‍යාප්ත වීය. වර්තමානයේ එය ආර්ථික ක්ෂේත්‍රයේ වඩාත් පුළුල් ලෙස පැතිරී ඇත. සරලව ගෝලීයකරණය යනු “ආර්ථීක, මූල්‍ය, වාණිජ හා ඒකාබද්ධතාවය ගෝලීයකරණය යනුවෙන් හඳුන්වනු ලබයි. එය තවදුරටත් පුළුල් අර්ථයෙන් සලකා බැලූ විට “අභ්‍යන්තරික ඒකාබද්ධතාවයන් අනුසාරයෙන් සකස් වූ ලෝක දෘෂ්ටියකින් නිෂ්පාදන අදහස් හා අනෙකුත් අංශ හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියකි˜. ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය එය අර්ථ ගන්වන්නේ‍ the fact that different cultures and economic systems around the world are becoming connected and similar to each other because of the influence of large multinational companies and of improved communication යනුවෙනි. මේ තුළින් අදහස් වන්නේ වෙනස් වූ සංස්කෘතීන් හා ආර්ථික ක්‍රමයන්, දියුණු සන්නිවේදන ක්‍රමවේදයන් සහ දැවැන්ත බහුජාතික සමාගම්වල බලපෑම කේන්ද්‍ර කරගනිමින් ලෝකය එක හා සමාන කිරීම සහ ඒකාබද්ධ කිරීම ගෝලීයකරණය යන්නයි. මෙම ක්‍රියාවලිය විසින් ලෝකය ඒකාබද්ධ කොට ඇත. බොහෝ විචාරකයන් පවසන්නේ ලෝකය විශ්ව ගම්මානයක් බවට මෙම ක්‍රියාවලියෙන් පසුව පත් වූ බවයි.

වර්තමාන ලෝකය තුළ වැඩිමනක් කතා බහට ලක් වන න්‍යායන් හෝ සංකල්පයන් අතර ලිබරල්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ත්‍රස්ථවාදය වැනි සංකල්පයන් ඉතා වැදගත් වේ. ඒ අනුව බලන කළ ලෝකයේ වැඩිම අවධානයට ලක් වූ සංකල්පයන් අතරට එක් වන තවත් සංකල්පයක් ලෙස ජාතිකවාදය (Nationalism)පෙන්වාදිය හැකිය. අතීතයට පමණක් නොව වර්තමාන සමාජ සන්දර්භයන්ට ද ඒකසේ වලංගු වන න්‍යාය පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය. නමුත් පසුගිය ශත වර්ෂය තුළ ඉතා වේගයෙන් ඉදිරියට පැමිණි සංකල්පයක් වන ජාතිකවාදය වර්තමාන ලෝකයේ කේන්ද්‍රීය සාධකයක් ලෙස ඉස්මතුව ඇති බව පෙනේ. ජාතිකවාදය යනු කුමක්දැයි යන ප්‍රශ්නයට ගෝලීයකරණය හා එකසමව එක එල්ලයේ පිලිතුරක් ලබාදිය නොහැකිය.  නමුත් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය ජාතිකවාදය අර්ථගන්වනු ලබන්නේ The desire by a group of people who share the same race, culture, language, etc. to form an independent country”  යනුවෙනි. එයින් අදහස් වන්නේ සජාතීය ලක්ෂණයන්ගෙන් යුත් පිරිසකගේ පිරිසකගෙන් යුක්ත රාජ්‍යක් නිර්මාණය කිරීම සඳහා ඇතිවන්නා වූ කැමැත්ත යන්නයි. එමෙන්ම බ්‍රිටනිකා විශ්ව කෝෂය එය අර්ථ ගන්වන්නේ “Nationalism, ideology based on the premise that the individual’s loyalty and devotion to the nation-state surpass other individual or group interests. යනුවෙනි. එකී නිර්වචනයේ සරල අදහස වන්නේ පුද්ගල සහ කණ්ඩායම්හි ආශාවන් ඉක්මයමින් ජාතික රාජ්‍ය උදෙසා පවතින්නා වූ ලැදියාව සහ පක්ෂපාතීත්වය පිළිබඳ න්‍යාය ජාතිකවාදය යන්නයි. බොහෝ උගතුන් ජාතිකත්වය නම් සංකල්පය “ජාතිය පිළිබඳව ඇතිවන හැඟීම යනුවෙන් ද අර්ථ කථනය කරයි. එය තවදුරටත් පුළුල්ව විග්‍රහ කිරීමේ දී “ යම් නිශ්චිත දේශ සීමාවක් තුළ දේශපාලනික වශයෙන් සංවිධානය වූ ජනතාවක් තමන් සියලු දෙනාම එකම ජාතියකට අයත්ය යනුවෙන් ඇති වන්නා වූ මානසික සිතුවිල්ල ” යනුවෙන් හඳුනාගත හැකිය.

මේ අනුව දේශපාලනික වශයෙන් ජාතිකවාදය හා ගෝලීයකරණය අතර පවතින සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. රාජ්‍ය හා පුද්ගලයා අතර පවතින සම්බන්ධතාවයේ ශක්තිමත්භාවය ජාතිකත්වය වර්ධනය කිරීමට හේතුවේ. බොහෝ න්‍යායාචාරීන් පෙන්වාදුන්නේ පුද්ගලයාට රාජ්‍යයෙන් වියුක්තව ජීවත්වීමට නොහැකි බවයි. ඒ අනුව පුද්ගලයාට රාජ්‍ය පිළිබඳ ඇතිවන්නා වූ හැඟීම දේශප්‍රේමය, දේශවාත්සල්‍ය, දේශමාමකත්වය ජාතිකවාදයක් නිර්මාණය කිරීම කෙරේ හේතුවෙයි. ඒ අනුව නිශ්චිත දේශ සීමාවකින් යුක්ත රාජ්‍ය ජාතිකවාදය නිර්මාණය කිරීමෙහිලා මූලික සාධකය වෙයි.  ගෝලීයකරණය හා ඇතිවන විවිධ ප්‍රස්තූතයන් හේතුවෙන් ජාතිකවාදය වර්ධනය වීමට මෙන්ම පසුගාමී තත්වයට පත්වීමට බලපෑ සාධකයන් රැසක් හඳුනාගත හැකිය. කෙසේ වෙතත් ගෝලීය සන්දර්භය හේතුවෙන් පුද්ගලයා හා රාජ්‍ය අතර පවතින සම්බන්ධතාවයට විශාල ගැටලු නිර්මාණය කොට ඇත. ලෝකය තාක්ෂණික වශයෙන් එකට එක් වී ඇති නිසාවෙන් පුද්ගලයා හා රාජ්‍ය අතර පවතින සම්බන්ධතාවය පළුදු කිරීමට එය සමත්ව ඇත. යම් අවස්ථාවක පරිභාහිර සමාජයන් අනුගමනය කරනු ලබන විවිධ න්‍යායන් මෙන්ම සංකල්පයන් පැමිණිම හේතුවෙන් එම පරිවර්තනය සීග්‍ර කොට ඇත. එමෙන්ම ගෝලීයකරණය තුළ රාජ්‍යට වඩා පුද්ගලයාට ස්ථානයක් හිමි වීම නිසා තවත් ආකාරයකට රාජ්‍ය නොවැදගත් තත්වයට පත්වී ඇත. ජාතිකවාදය වර්ධනය වීමට නම් පුද්ගලයා හා රාජ්‍ය යන අංශයන් දෙකම අවශ්‍ය වේ. මෙලෙස ගෝලීයකරණය හරහා පුද්ගලයා හෙවත් පුරවැසියා රාජ්‍ය සමඟ පවතින සම්බන්ධය දුරස්වීම ජාතිකවාදය දුර්වල කිරීමට හේතු වේ.

එසේම රාජ්‍යයේ දේශ සීමාව තුළ වාසය කරනු ලබන සියලුම පුරවැසියන් තමන් එකම ජාතියකට අයත්වන්නේ යැයි යනුවෙන් ඇතිවන හැඟීම ජාතිකවාදයට ඉතා වැදගත් වේ. ඒ අනුව වාර්ගික හැඟීම් වලින් තොරව ජාතික හැඟීම් ඒ තුළින් අවධාරණය වෙයි. නමුත් ලෝකයේ යම් අවස්ථාවන්වල ගෝලීයකරණයත් සමඟ රාජ්‍යන් හා ජාත්‍යන්තරය ඒකාබද්ධ පවතී. රාජ්‍ය නොව සංවිධාන, ජාත්‍යන්තර ගිවිසුම, අන්තර්ජාතික නීති මෙන්ම අන්තර්ජාතික සංවිධානයන් රාජ්‍යයේ ව්‍යුහයට බාධාවන් පමුණුවයි. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ වාර්ගික අභ්‍යන්තර සිවිල් අර්බුදය සමයේ ජාත්‍යන්තර සංවිධානයන් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විශාල පීඩනයක් ඇති කරන ලදී. මෙහි දී ලංකා ආණ්ඩුව සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් ජාතීන් අතර හොඳහිත වර්ධනය කරමින් ජාතිකත්වය නිර්මාණය කිරීමට ගන්නා වෑයමට එය මරු පහරකි. දරුස්මාන් වාර්තාව මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් ඇතුළු සාමාජික රාජ්‍යන් නිරන්තරයෙන් ලංකවට එරහිව විවිධ යෝජනා සම්මත කරමින් ලංකාවේ ජාතික යාන්ත්‍රණයට විවිධ බාධා පමුණුවයි. එසේම ඇතැම් රාජ්‍ය නොව සංවිධානයන් රාජ්‍යන් තුළ අස්ථාවරත්වයන් ඇති කරමින් වාර්ගිකත්වය ඉස්මතු කිරීමට කටයුතු කරනු ලබයි. මෙහි දී ඉතා පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අවශ්‍යතාවයන් මත ඇතැම් රාජ්‍ය නොව සංවිධානයන් ජනතාව කුපිත කරමින්, වාර්ගිකත්වය ඉස්මතු කිරීමට විශාල වෑයමක් දරයි.  එහි අවසන් ප්‍රතිඵලය වශයෙන් ලෝකයේ බොහෝ රාජ්‍යන් තුළ වාසය කරන විවිධ වාර්ගිකයන් වෙනම රාජ්‍යක් ඉල්ලා සටන් කිරීම පෙන්වාදිය හැකිය. නිදසුන් ලෙස ශ්‍රී ලංකාව, සුඩානය, කොසෝවෝ ආදී රාජ්‍යන් පෙන්වාදිය හැකිය.මේ නිසා ජාතිකත්වයට යම් බලපෑමක් සිදු වන ආකාරය හඳුනාගත හැකිය.

එසේම ලෝකය එකට එක්වීමත් සමඟම බොහෝ රාජ්‍යන්වල වාසය කරන පුරවැසියන් වෙනත් රාජ්‍යන්වලට සංක්‍රමණයවීම වැඩි වෙයි. හුදෙක් සංචාරකයන් ලෙස නොව ස්ථීර පදිංචිකරුවන් බවට ඇතැම් විට ඔවුන් පත් වේ. මේ නිසා රාජ්‍යන් තුළ ඇතිවන ජන සංයුතියේ වෙනස්කම්වලට තදින් බලපානු ලබයි. එය රාජ්‍යයේ දේශපාලනික පදනමට විශාල ගැටලුවකි. වෙනත් ජන කණ්ඩායම් රාජ්‍යට පිවිසීමත් සමඟම රාජ්‍යයේ අභිලාෂයන් හා ඉලක්කයන් විශේෂයෙන්ම ජාතියක් වශයෙන් ගමන් ගන්නා ව්‍යුහයට බාධා පමුණුවයි. නිදසුනක් වශයෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ මුස්ලිම් හා චීන සම්භවයක් ඇති පිරිස් විශාල බලපෑමක් සිදු කරයි. දෙවන ලෝක යුද්ධයට සමකාලීනව යුදෙව් ජන සංඛයාව වර්ධනය වීම නිසා ඇමරිකාව තුළ විශාල යුදෙව් ජන පිරිසක් වාසය කිරීම නිසා ඇමරිකානු ජාතිකත්වයට ගැටලු ඇති වූ ආකාරය පෙන්වාදිය හැකිය. එමෙන්ම සරණාගතයන් ද ජාතිකත්වයට විශාල බලපෑමක් සිදු කරනු ලබයි. එමෙන්ම ලංකාවේ මෑත කාලයේ ඇති වූ රොහින්‍යා සරණාගත ගැටලුව ද එයට කදිම නිදසුනකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සිවිල් අර්බුද සමයේ ලාංකිකයන් බොහෝ දෙනෙකු යුරෝපා රාජ්‍යන්ට මෙන්ම කැනඩාව වැනි රාජ්‍යන්ට දේශපාලනික සරණාගතයන් ලෙස පලා ගිය අතර එබැවින් එම රාජ්‍යන්හි ජාතිකත්වයට විශාල ගැටලු නිර්මාණය කරන ලදී. ඒ අනුව පෙනී යන්නේ ගෝලීයකරණයේ අනිටු විපාකයන් ජාතිකත්ව අදහස් දුර්වල කිරීම කෙරේ හේතු වන බවයි.

එමෙන්ම ගෝලීයකරණය සමඟ ජාතිකවාදය මුහුණ දෙන තවත් ගැටලුවක් නම් තාක්ෂණයේ වර්ධනයත් සමඟ පැමිනෙණ විවිධ මුහුණුවරයන් සමඟ රාජ්‍යට විරුද්ධව පුද්ගලයා යෙදවීමට උත්සහ කරයි. බොහෝ විට ගෝලීයකරණයට පෙර පුද්ගලයා යනු රාජ්‍යට අතිශය කීකරු තැනැත්තෙකි. නමුත් ගෝලීයකරණයත් සමඟ ඇති වූ විවිධ විපර්යාස හේතුවෙන් විශේෂයෙන් සන්නිවේදනයේ වර්ධනයත් සමඟ එවැනි අදහස් සීග්‍රයෙන් වර්ධනය වීය. බොහෝ විට එමඟින් පුද්ගලයා රාජ්‍යයේ ප්‍රතිපත්ති, ක්‍රීයාකාරීත්වය මෙන්ම ව්‍යුහය ප්‍රශ්න කිරීමට මෙන්ම ඒ පිළිබඳව විරෝධතාවයන් දැක්වීමට ආරම්භ වීය. විශේෂයෙන්ම බටහිර හා ඇමරිකානු දේශපාලනය විසින් ඇති කළ ගැටලු ද සමඟින් නිර්මාණය වූ අරාබි වසන්තය එයට වඩාත් සාධාරණ නිදසුනකි. ටියුනීසියාවෙහි පලතුරු කරත්තයක් නිසාවෙන් ඇති වූ ගැටලුවක් පාදක කරගනිමින් එය සමාජ මාධ්‍යන් හරහා රටපුරා පැතිරෙමින් අවසානයේ බෙන් අලිගේ ආණ්ඩුව ගෙදර යෑවීම දක්වා වර්ධනය වීය. මෙයට යුරෝපය හා ඇමෙරිකාව ඇතුළු බොහෝ රාජ්‍යන්ගේ ආධාර උපකාර හිමි වූ අතර මේ හරහා මිනිසුන් ජාත්‍යන්තර මතයන් කර පින්නා ගනිමින් රාජ්‍යට විරුද්ධ වන ආකාරය දැකිය හැකිය. ටියුනීසියාවෙන් ආරම්භ වී ලිබියාව, ඊජිප්තුව, සිරියාව ආදී රාජ්‍යන්හි පුද්ගලයන් රාජ්‍යට විරුද්ධ වීම සඳහා පුද්ගලයන් අභිප්‍රේරණය කිරීමට ගෝලීයකරණය විසින් සිදු කරන ලදී. මෙය ජාතිකත්වය වර්ධනය වන අවස්ථාවක් නොව ජාතිකත්වය බිඳ දැමීමට රුකුල් දීමකි. එසේම යම් අවස්ථාවල තාක්ෂණය පුද්ගලයා තුළ ජාතිකත්වය රෝපණය කිරීමට යම් හේතු සාධකයක් වන අවස්ථාවන් ද දැකිය හැකිය. විශේෂයෙන්ම රූපවාහිනිය ඇතුළු සමාජ මාධ්‍යන් ලෝක තත්වය සහ රාජ්‍යයේ තත්වය පිළිබඳව දැඩි අවධානයකින් පසුවේ. රාජ්‍ය විසින් මුහුණදෙන ඉතා අපහසු තත්වය මෙන්ම විවිධ හදිසි තත්වයන් පිළිබඳව පුද්ගලයා දැනුවත් කරනු ලබයි. මෙවැනි තත්වයන් හරහා ජාතිකත්වය වර්ධනය වීමට යම් අවකාශයක් සලසනු ලබයි.

ආර්ථීක වශයෙන් බැලූ කළ ගෝලීයකරණය සමඟ රාජ්‍යන්ට ස්වකීය ආර්ථිකයක් හෙවත් තමන්ගේම වූ ආර්ථිකයක් පවත්වා ගෙන යාමට නොහැකි වෙයි. ගෝලීයකරණයත් සමඟ රාජ්‍යන් ආර්ථික වශයෙන් බැඳී සිටින ආකාරය හඳුනාගත හැකිය. විශේෂයෙන්ම තමන්ගේ ආර්ථිකයන් අනෙක් රාජ්‍යන්ගේ ආර්ථිකය මත රඳා පැවතීම මෙහි දී වැදගත් වෙයි. තමන්ගේම වූ නිෂ්පාදන ආර්ථිකයකට වඩා ගෝලීයකරණය සමඟ බද්ධ වූ ආර්ථිකයන් ලෝකය තුළ නිර්මාණය වේ. ලෝකයේ කිසිදු රටක ස්වයං පෝෂිත ආර්ථිකයන් දැකිය නොහැකිය. ඔවුන් ආනයනය හා අපනයනය මත රඳා වතී. යම් අවස්ථාවක කිසියම් රටක් අපනයනය සීමා කළහොත් එය බොහෝ රාජ්‍යන්ට බලපෑමක් වෙයි. නිදසුනක් ලෙස ඔපෙක් රාජ්‍යන් තෙල් අපනයනය සීමා කළහොත් එය සෑම රාජ්‍යකටම බලපානු ලබයි. නිදසුනක් වශයෙන් 1970 දශකයේ අරාබිකරයේ ඇමෙරිකානු බලපෑමට විරෝධය දක්වමින් ඇමෙරිකාවට තෙල් සැපයීම සීමා කරන ලදී. එහෙයින් ඉන්ධන නොමැතිව මාර්ග පුරා රථවාහන නවතා තිබූ වත් ඉන්ධනහල් සමීපයේ විශාල රථවාහන තදබදයක් වූ බව සඳහන් වෙයි. එසේම ලෝකයේ එක් රාජ්‍යක් තුළ සිදුවන විවිධ ව්‍යපර්යාසයන් ලෝකයේ අනෙක් රාජ්‍යන්ට බලපෑම් කරනු ලබයි. යම් විටෙක යම් රාජ්‍යක සිදු වන ස්වභාවික ආපදාවන් මෙන්ම හදිසි තත්වයන් (යුද්ධයන්) සෘජුව ලෝක ආර්ථිකයට බලපානු ලබයි. නිදසුනක් වශයෙන් 1924 දී පමණ ඇති වූ ආර්ථික අර්බුදය සහ 2010 දී පමණ ඇති වූ ලෝක ආර්ථික අර්බුදයේ දී සමස්ථ ලෝකය තුළම ආර්ථික පරිහානිකර තත්වයන් නිර්මාණය වීය. ෆැසිස්ට්වාදීන් ද පෙන්වාදෙන්නේ තමන්ට අනන්‍ය වූ ආර්ථිකයන් ස්වකීය ජාතියේ වර්ධනයට ඉවහල් වන බවයි. රාජ්‍යක ජාතිකත්වය වර්ධනය වීමට නම් තත් රාජ්‍යයේ අනෙක් රාජ්‍යන්ට ගැති නොවූ ආර්ථිකයක් අවශ්‍ය වේ. නමුත් ගෝලීයකරණ සිද්ධාන්තය හරහා එය සිදු නොවන ආකාරය හඳුනාගත හැකිය.

අනෙක් අතින් රාජ්‍යන්ගේ ආර්ථිකයන්ට බහු ජාතික සමාගම් ද විශාල මැදිහත්වීමක් සිදු කරයි. එබැවින් බහුජාතික සමාගම් යනු ගෝලීයකරණයේ එක් දැවැන්ත ප්‍රතිඵලයකි. ඒ අනුව බොහෝ අවස්ථාවල රාජ්‍යයේ සමස්ථ ආර්ථිකයම පාලනය කිරීමට ඇතැම් බහු ජාතික සමාගම් උත්සහ කරයි. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ඒකාධිකාරය හොබවනු ලබන්නේ ප්‍රීමා සමාගම විසිනි. යම් හෙයකින් රාජ්‍ය සමඟ එම සමාගම අර්බුදයක් ඇති කර ගත්තේ නම් රාජ්‍යට එම සැපයුම් නොලැබී යයි. ඒ හරහා රාජ්‍ය හා පුරවැසියා සමඟ පැවති සම්බන්ධය බිඳ වැටෙන අතර ජාතිකත්වය වර්ධනය වීමට නම් රාජ්‍යයේ ආර්ථික වර්ධනය වැදගත් වේ. රාජ්‍යයේ යටිතල පහසුකම් වර්ධනය වී පුද්ගලයා යම් සාධනීය තත්වයකට පත් වූ විට ජාතිකත්වය ඉහළ යන ආකාරය හඳුනාගත හැකිය. ඒ බව හිට්ලර් සමයේ මෙන්ම බිස්මාක් සමයේ ජර්මන් ආර්ථික වර්ධනය සමඟ දැකගත හැකිවීය. මෙලෙස රාජ්‍ය හා බහුජාතික සමාගම් අතර ඇතිවන ගැටලු සහ ඔවුන් රාජ්‍යයේ ආර්ථිකයට දායකත්වය නොසැපයීම හරහා රාජ්‍යයේ ආර්ථිකය බිඳ වැටී ක්‍රමයෙන් ජාතිකත්වය බිඳ වැටෙන ආකාරය හඳුනාගත හැකිය.

එසේම ගිවිසුම් පිළිබඳව ද මෙහි දී වැඩි අවධානයක් යොමු කළ යුතුය. ගිවිසුම් අන්තර් රාජ්‍ය යාන්ත්‍රණයේ දී ඉතා වැදගත් වෙයි. ඇතැම් ගිවිසුම් ජාතකත්වය වර්ධනය කිරීම කෙරේ හේතු වන අතරම ඇතැම් ගිවිසුම් ජාතීකත්වය බිඳ හෙලීම කෙරේ හේතු වනු ලබයි. නිදසුනක් වශයෙන් 1987 ඉන්දු ලංකා ගිවිසුම පෙන්වාදිය හැකිය. ඒ හරහා ලංකාවේ සන්ධීය ක්‍රමයට විරුද්ධව බොහෝ මතවාදයන් නිර්මාණය වූ අතර එය ලංකාවේ ජාතිකත්වය කෙරේ විශාල වශයෙන් බලපාන ලදී. එම ගිවිසුම මඟින් ඉන්දීය බලපෑම ඉතා වර්ධනය වූ අතර ජාතියක් වශයෙන් ඊට විරුද්ධව සියලුම ජාතීන් පෙල ගැසෙන ආකාරය හඳුනාගත හැකිය. එසේම ඇතැම් ගිවිසුම් ජාතිකත්වය වර්ධනය කරමින් රටේ ඉදිරි ගමන කෙරේ බලපාන ආකාරය ද හඳුනාගත හැකිය. ඊට නිදසුන් ලෙස සිරිමාවෝ සමයේ චීන ලංකා ගිවිසුම් පෙන්වාදිය හැකිය. කෙසේ වෙතත් යම් යම් අවස්ථාවන්හී දී ගෝලීයකරණය ජාතිකත්වය වර්ධනය කිරීමට ද ඉවහල් වන ආකාරය හඳුනාගත හැකිය.

නමුත්  එහි සාධනීය අවස්ථාවක් ලෙස ගෝලීයකරණය සමඟ බොහෝ රාජ්‍යන් විසින් සිය ආයෝජනයන් වැඩි කර ගන්නා ලදී. විවිධ සමාගම් හා විවිධ රාජ්‍යන් සමඟ ගිවිසුම් ඇති කරගනිමින් රාජ්‍යයේ ආර්ථිකය වර්ධනය කරන ගන්නා ලදී. ඒ අනුව රාජ්‍යට ස්වකීය ආර්ථිය වර්ධනය කිරීමට අවස්ථාව උදා වෙයි. ඒ අනුව ජාතික ඉතුරුම් වර්ධනය වී පුද්ගල අභිවෘද්ධිය උදෙසා රාජ්‍යට වැය කිරීමට තරම් ප්‍රාග්ධනය හිමි වේ. ඒ අනුව 1977 ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකයත් සමඟම විවිධ ආයෝජන ගලා ඒම සිදු වූ අතර ඒම දශක කිහිපය තුළ ලංකාවේ ආර්ථීක වර්ධන වේගය ඉතා ඉහළ අගයක් ගත්‍ බව සඳහන් වේ. මේ නිසා රාජ්‍යයේ ආර්ථික අභිවෘද්ධියක් හෙවත් සමෘද්ධියක් ඇති වන විට පුද්ගලයාගේ අභිවෘද්ධිය ද එයින් සාධනය වන අතර ඒ හරහා ජාතිකත්වය වර්ධනය වේ. ඒ අතරම විශාල වශයෙන් ලංකාවට ආයෝජකයන් පැමිණ ආයෝජන කලාප බියගම, කටුනායක, කොග්ගල ආදී ප්‍රදේශවල නිර්මාණය වෙයි. මේ හරහා රැකියා වියුක්තිය අවම වී රාජ්‍ය ආදයම වර්ධනය වීම ජාතිකත්වය වර්ධනය කෙරේ හේතු සාධක වීය.

අනෙක් අතට ගෝලීයකරණය විසින් සමාජ හා සංස්කෘතික වශයෙන් ජාතිකත්වයට විවිධ බලපෑම් එල්ල කරන ආකාරය හඳුනාගත හැකිය. මූලිකවම ගත් විට බොහෝ විට රාජ්‍ය විසින් සිය දේශසීමාවන් අභිබවා ජාතිකත්වය වර්ධනය කර ගන්නේ ගෝලීයකරණය හරහාය. පුද්ගලයාට නිදහස් ලෙස ලෝකය තුළ සැරිසැරීමට අවස්ථාව උදාවෙයි. ඒ හරහා එක් රටක පුරවැසියන් විවිධ රාජ්‍යන් තුළ වාසය කිරීම හරහා ජාතිකත්වය වර්ධනය වී ඇත. නිදසුනක් ලෙස ශ්‍රී ලංකිකයන් ශ්‍රි ලංකාව තුළ පමණක් නොව යුරෝපයේ, ඇමරිකානු කලාපයේ හා ආසියාවේ විවිධ පෙදෙස්වල ජීවත්වෙයි. ඒ හරහා ලංකාවේ ජාතිකත්වය දේශසීමාවන් අභිබවා ව්‍යාප්ත වෙයි. එය ජාතිකත්වය වර්ධනය වීම උදෙසා හේතු වෙයි.

අනෙක් අතින් ගෝලීයකරණය හරහා පැමිනෙණ විවිධ උවදුරු විශේෂයෙන්ම ජාතිකත්වය මුහුණ පාන ගැටලු නිසාවෙන්ද ජාතිය ශක්තිමත් වන අකාරය හඳුනාගත හැකිය. ඒ අනුව ජාතිය යම් අර්බුදයක වැටී අවස්ථාවන්හී දී ජාතිය ගොඩනැගීමේ අභිලාශයෙන් ජාතිකත්වය වර්ධනය වන අවස්ථාවන් ඇත. ඒ අනුව විවිධ ආර්ථික හා දේශපාලනික මෙන්ම සංස්කෘතික අතින් ඇතිවන විවිධ ගැටලු වලට එරහිව ජනතාව නැගී සිටීම තුළින් ජාතිකත්වය ඉස්මතු වන ආකාරය හඳුනාගත හැකිය. විශේෂයෙන්ම ඉරානය පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ඒ බව හඳුනාගත හැකිය. ඔවුන්ට ජාත්‍යන්තරය විසින් ආර්ථික සම්බාධකයන් පැන වූ අවස්ථාවේ දී ඔවුන් ස්වකීය ජාතිය මුහුණ දෙන ගැටලුව පිළිබඳ ව හොඳින් අවබෝධ කරගනිමින් එය පරාජය කිරීම සඳහා එකට එක්වීමේ දී ඉරානීය ජාතිකවාදය ඉස්මතු වන දැකිය හැකි වීය.

එපමණක් නොව ගෝලීයකරණය හරහා සන්නිවේදන ක්ෂේත්‍රය ඉතා ඉහළ වර්ධනීය තත්වයක් ඇති කර ගන්නා ලදී. මෙහි දී තම ජාතිය මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව ක්ෂණික ලෙස දැන ගැනීමට ඉන් අවස්ථාවක් හිමි වේ. එය යම් යම් අභිප්‍රේරණය කිරීම් විකාශය කිරීම් හා හුවමාරු කිරීම් ද සිදු කළ හැකි අතර ජාතිය මුහුණ දෙන අභියෝග පිළිබඳව දැනුවත් කිරීමට අවස්ථාව හිමි වේ. ඒ හරහා ජාතිකත්වය වර්ධනය කරගැනීමට ජනතාවන්ට අවස්ථාව හිමි වේ. එපමණක් නොව ගෝලීයකරණය සමඟ විවිධ භාෂාවන් වර්ධනය වූ අතර එහි දී ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වීය. බොහෝ රාජ්‍යන් බහු වාර්ගික සමාජයන්ගෙන් යුක්ත වූ නමුත් ඔවුන් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධක භාෂාවක් වශයෙන් භාවිත කරන ලදී. විශේෂයෙන්ම ඉන්දියානු නිදහස් ව්‍යාපාරය දෙස බැලීමේ දී ඒ බව හොඳින් වටහා ගත හැකිය. ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල වාසය කරන විවිධ ජනතාව දැනුවත් කරමින් නිදහස පිළිබඳ අදහස් වර්ධනය කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාව කේන්ද්‍ර කර ගනිමිනි. ඒ අනුව බහු වාර්ගික, බහු සංස්කෘතික ජන සමාජයන්ට ස්වකීය ජාතිකත්වය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ඉන් හිමි වේ.

නමුත් ගෝලීයකරණය මඟින් ජාතිකත්වයට යම් පහරක් එල්ල වන ආකාරය හඳුනාගත හැකිය. විශේෂයෙන්ම සංස්කෘතිය ජාතිකත්වය හා සමීප සබඳතාවයක් පවත්වයි. සංස්කෘතිවය තුළින් පුද්ගලයා තුළ තමන්ගේකම ඉස්මතු වේ. නමුත් ගෝලීයකරණය හරහා රාජ්‍යයේ හා ජන සමාජයේ සංස්කෘතික අනන්‍යතාවයන් බිඳ වැටේ. එය ජාතිකත්වයට සෘජුවම බලපායි. ඒ අනුව විවිධ භාෂාවන් භාවිතයට පැමිණෙනු ලබයි. එමඟින් දේශීය භාෂාවන්හට හිමි වන මූලිකත්වය අහිමි වෙයි. එපමණක් නොව ගෝලීයකරණය සමඟ විවිධ මිශ්‍රණයන්ට ලක් වූ බටහිර හා පෙරදිග සිරිත් විරිත් හා විවිධ සංස්කෘතික සංකල්පයන් හිමි වේ. ඒ හරහා රාජ්‍යයේ සංස්කෘතික ලක්ෂණයන් වියැකී යාමට මෙන්ම එම සභ්‍යත්වයන් විකෘතිවීමට ඇති හැකියාව වර්ධනය වෙයි. දේශීය ඇඳුම් පැළඳුම් වෙනුවට වෙනත් සංස්කෘතීන්ගේ ලක්ෂණයන් හිමි වීම නිසා විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. විශේෂයෙන්ම පුරවැසියන්ට ඒ හරහා ස්වකීය සංස්කෘතික අනන්‍යතවය ගිලිහී යනු ලබයි. මේ හේතූන් පදනම් කරගනිමින් පුරවැසියන් තුළ තමන්ගේ යන හැඟීම් නැතහොත් පොදු ඒකීයත්වය පිලිබඳ සාධකය අවම වී ගොස් ජාතිකත්වය අවම ලෙස ක්‍රියාකිරීම හඳුනාගත හැකිය.

මේ ආකාරයට ගෝලීයකරණය යනු කුමක්ද හා ගෝලීයකරණය විසින් ජාතිකවාදය සමඟ පවත්වන සබඳතාවයන් පිළිබඳව අධ්‍යනය කරන ලදී. සමාජ, ආර්ථික., දේශපානික හා සංස්කෘතික අතින් ජාතිකවාදය හා ගෝලීයකරණය අතර වන සම්බන්ධය තවදුරටත් පුළුල්ව විග්‍රහ කොට ඇත. මේ සන්දර්භය පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ජාතිකවාදයට ගෝලීයකරණය සාධනීය හා නිෂේධනීය වශයෙන් බලපෑම් කර ඇති බව පෙනේ. විටෙක ජාතිකවාදය පෝෂණය කිරීමට හා එය වර්ධනය කිරීමට මෙන්ම තවත් අවස්ථාවක ජාතිකවාදය දුර්වල කොට හීන කිරීමට එය බලපෑම් කර ඇති බව තවදුරටත් හඳුනාගත හැකිය.

 

Comments