ළමා අයිතිවාසිකම්


 ළමා අයිතිවාසිකම් යනු මොනවාද?
වර්තමාන ප්‍රජාතාන්ත්‍රීය සමාජයක අයිතිවාසිකම්, නිදහස වැනි සංකල්පයන් ඉතා වැදගත් වේ. මන්ද ඒ සිද්ධානත්තයන් මානවයාගේ හෙට දවස තීරණය කරන බැවිනි. ඒ අතරින් මානව අයිතිවාසිකම් වැදගත් වන්නේ පුද්ගල පැවැත්ම හා ගරුත්වය, පෞර්ෂත්වය ඒ තුළින් තීරණය කරන බැවිනි. එබැවින් මානව අයිතිවාසිකම් මිනිසාට මිනිසෙකු ලෙස ජීවත්වීම සඳහා අවැසි බව පෙන්වා දෙයි. මානව අයිතිවාසිකම් අතුරින් වැදගත් අයිතිවාසිකම් කාණ්ඩයක් ලෙස ළමා අයිතිවාසිකම් පෙන්වාදිය හැකිය. ළමුන් ද  සමාජ ජීවියෙකු වශයෙන් අනෙකුත් සමාජ කණ්ඩායම්වලට සාපේක්ෂව සිය පෞර්ෂත්වය පවත්වා ගැනීම සඳහා රෙගුලාසි මාලාවක් අවශ්‍යම වේ. ඒ අනුව ළමා අයිතිවාසිකම් යනු මොනවාද පිළිබඳව ඒ හරහා අධ්‍යනය කිරීම වැදගත් වේ.
ළමා අයිතිවාසිකම් පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ළමයා යනු කවුරුන්ද යන්න පිළිබඳවත් යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. සාමාන්‍යෙයන් ලෝකය තුළ ළමයෙකු වශයෙන් හඳුන්වනු ලබන්නේ වයස අවුරුදු 18ට වඩා අඩු වයසින් යුත් තැනැත්තෙකි. ශ්‍රී ලංකාව තුළ ද යම් යම් නීති ප්‍රකාරව විවිධ අවස්ථාවන්හී දී වයස් සීමාව සංශෝධනය වූවද ළමයා යනු වයස 18 වඩා අඩු තැනැත්තෙකු බව පිළිගනී. විශේෂයෙන්ම ළමා අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනය  අධ්‍යනය කිරීමේ දී පෙනී ගිය ආකාරයට ළමයා යනු “For the purpose of present convention a child means every human being below the age of eighteen years under the law applicable to the child, majority is attained earlier.  පෙන්වාදිය හැකිය. මෙහි සරල අදහස නම් අවුරුදු 18 අඩු ඕනෑ මනුෂ්‍ය  ජීවියකු ළමයකු ලෙස සැලකෙන බවයි. ඒ අනුව ළමයා යනු කවුරුන්ද යන්න සරලව හඳුනාගත හැකිය. පෙර සඳහන් කළ පරිදි යම් යම් රාජ්‍ය ළමයා පිළිබඳව විවිධ අර්ථකථනයන් සැපයූවද ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන්නේ ළමා අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයේ සඳහන්  තත්වයයි.
ළමා අයිතිවාසිකම් යනු මොනවාද යන්න ළමයෙකුට ළමයෙකු වශයෙන් ජීවත්වීමට අවශ්‍ය අයිතිවාසිකම් ලෙස සරලව පෙන්වාදිය හැකිය. විශේෂයෙන්ම ළමුන්ට ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය සාධකයන් ලෙස එය තවදුරටත් අර්ථකථනය කළ හැකිය. එමෙන්ම ළමයාට සමාජය තුළ සිය පැවැත්ම හා ගරුත්වය ආරක්ෂා කර ගනිමින් සාර්ථක ලෙස සමාජය තුළ ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි ළමා අයිතිවාසිකම් ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන්ම පොදු සමාජය තුළ ළමයා නොමේරූ පුද්ගලයෙකු ලෙස හඳුන්වයි. එබැවින් සමාජය තුළින් ඔහුට විවිධ තාඩන පීඩනයන්, අපහසුතා, අසාධාරණකම් සිදුවීමේ ඉඩ ප්‍රස්ථාව ඉතා අධික වේ. එබැවින් ළමයාට සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහාත්, ගරුත්වය ආරක්ෂා කිරීම පිණිසත්, සිය පෞද්ගලික අභිවෘද්ධිය ළඟා කර ගැනීම සඳහාත්, සමාජ සාධාරණත්වය ලබා ගනිමින් සමාජය තුළ සාධනීය පුරවැසියෙකු ලෙස වර්ධනය වීම සඳහා අවශ්‍ය වන්නා වූ සාධකයන් ලෙස ළමා අයිතිවාසිකම් ප්‍රසාරණය කිරීමේ දී පෙනී යයි.
විශේෂයෙන්ම අතීතයේ සිටම ළමුන්ට සිදු වූ විවිධ හිංසනයන් හා අයිතිවාසිකම් උල්ලංඝනය වීම් අධ්‍යනය කිරීම හරහා මෙන්ම සාකච්ඡාවන්ට බඳුන්වීම තුළින් ද ඇති වූ තත්වයන් හේතුවෙන් ළමා අයිතිවාසිකම් ක්ෂේත්‍රය ඉදිරියට පැමිණෙන ලදී. විශේෂයෙන්ම එම සමාජයක සංවර්ධනය හා පැවැත්ම සඳහා ළමා අයිතිවාසිකම් ඉවහල් වේ. කෙදිනක හෝ එම රටේ අනාගත පුරවැසියන් වන්නේ ඔවුන්ය. ඒ වෙනුවෙන් ඔවුන් සඳහා ජීවත්වීමට සුදුසු පරිසරයක් සකසා දීම සමාජයේ වගකීම වේ. ඒ අනුව ළමා අයිතිවාසිකම් හඳුනාගැනීමට වැදගත් වේ. ආගම, ජාතිය, කුලය, භාෂාව වර්ගය වැනි සන්සිද්ධීන් සලකා වෙනස්කමකට ලක් නොකිරීම, අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, ආදරය රැකවරණය හා ආරක්ෂාව ලබාගැනීමට ඇති අයිතිය,  ආදී වශයෙන් පෙන්වාදිය හැකිය.
ළමා අයිතිවාසිකම් ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ළමා අයිතිවාසිකම්වල වටිනාකම වර්ධන වීම කෙරේ 1948 දී ඉදිරිපත් කරන ලද මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනය වැදගත් වීය. හි පැවති සාධනීය ලක්ෂණයන් හා සමකාලීනව ළමා අයිතිවාසිකම් පිළිබඳ වූ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් 1989 නොවැම්බර් මස 20 වන දින ඵමා අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ඉදිරිපත් කරන ලදී. එය ළමා අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ ගත් ඉදිරි පියවරක් ලෙස පෙන්වාදිය හැකිය.

 ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික යාන්ත්‍රණය
ළමා අයිතිවාසිකම් ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යනය කිරීමේ දී අන්තර්ජාතික වශයෙන් නැතහොත් ගෝලීය වශයෙන් ඒ පිළිබඳව ඇති වූ සාධනීය තත්වයන් වැදගත් වේ. වර්තමානයේ ළමා අයිතිවාසිකම් වර්ධනය වීම උදෙසා ලෝකයක් ළුශයෙන් ගත් උත්සහයන් මෙහිදී අධ්‍යනය කරයි. විශේෂයෙන්ම 1989 වර්ෂයේ ළමා අයිතිවයාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එළි දැක්වීම දක්වා ළමා අයිතිවාසිකම් ආ ගමන් මඟ මෙහි දී අධ්‍යනය කරනු ලබයි.
ළමුන්ට අතීතයේ සිටම පැවති තතවය සෝචනීයය. ග්‍රීක රෝම යුගයේ ගත්ත ද ඔවුන්ට නිසි ස්ථානයක් නොතිබුණි. ග්‍රීක යුගයේ ඔවුන්ට රාජ්‍යයේ පුරවැසි බව පවා හිමි නොවීය. රෝම යුගයේ ද වහල් වෙළඳාම යටතේ විශාල ළමුන් සංඛ්‍යාවක් වහලුන් ලෙස රදලයන්ගේ නිවාසවල සේවය කරන ලදී. අතීත සමාජය තුළ ද ඔවුන් නිසි ආරක්ෂාවක්, පැවැත්මක් නොවූ බව පෙනී යන කරුණකි. එමෙන්ම කාර්මික විප්ලව සමය ද ළමා පරපුරට එතරම් සුභධායක නොවීය. කාර්මික කම්හල්වල සේවය යෙදීමට සිදු වූ අතරම සමාජ පසුබිම ද ඔවුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් නොවීය. එමෙන්ම 1929 ආර්ථීක අර්බුදය හේතුවෙන් ළමුන්ට පවුල්වලින් ඉවත් වී ළමා නිවාසවල ජීවත්වීමට සිදු වූ අතරම ඔවුනට පවුල් පෝෂණය කිරීම සඳහා රැකියාවල නිරත වීමට ද සිදු වීය.ඒ බව As a result, the number of children sent to orphanages increased by 50 percent. Roughly 250,000 older children left home to find work. යන්න තුළින් හඳුනාගත හැකිය. එපමණක් නොව පළමු ලෝක යුද්ධ හා දෙවන ලෝක යුද්ධ සමයන් තුළ ද විශාල වශයෙන් ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වූ සමයක් වීය. ළමයින් මෙන්ම කාන්තාවන් ද සාමාජිය, ආර්ථික හා දේශපාලනික වශයෙන් ඉතා අසරණ තත්ත්වයකට ඇද වැටීම දක්නට ලැබිණ. අඩු වැටුප්වලට ශ්‍රමය විකිණීම, වහලුන් බවට පත්වීම, ලිංගික කටයුතුවලට යොදවා මුදල් ගැනීම, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය, යුද සේවය හා ඔත්තු බැලීම ආදී නොයෙක් අපයෝජන අවස්ථා සඳහා එවකට ළමුන් යොදා ගැනිණ. දෙමාපියන් නොමැතිව අනාථ කඳවුරුවල සිටින හා අසරණ භාවයට පත් වූ ළමයින් මෙහිදී පීඩිතයන් විය. යුද්ධයෙන් හා දරිද්‍රතාවයෙන් පෙලුණු පසුබිමක් තුළ හොඳ සෞඛ්‍ය පහසුකම්, පෝෂණය, අධ්‍යපනය, ළමුන්ට කිසිසේත් නොලැබී ගිය අතර මන්දපෝෂණය, වසංගත රෝග පැතිරීම ළමා පරපුරම ඛේදනීය තත්ත්වයකට ඇද දැමීය. මෙම තත්ත්වයන් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් ප්‍රමුඛ ලොව බොහොමයක් රටවලට ඉතා ප්‍රබල ලෙස බලපාන ලදී.
ඒ අනුව බොහෝ රාජ්‍යන් හා අන්තර්ජාතික ප්‍රජාව ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සිය අවධානය යොමු කරන ලදී. විශේෂයෙන්ම විවිධ සංවිධානයන් මේ සඳහා සිය ප්‍රමුඛස්ථානය ලබා දෙන ලදී. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස පළමුවරට ගත් අන්තර්ජාතික ක්‍රියාන්විතය ලෙස 1924 ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කළ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජිනීවා ප්‍රකාශනය පෙන්වාදිය හැකිය. එය ළමා අයිතිවාසිකම් යාන්ත්‍රණය සඳහා දැමූ හොඳ පදනමක් ලෙස පෙන්වාදිය හැකිය. මානව අයිතිවාසිකම් පිළිබඳව තවත් පියවරක් ඉදිරියට තබමින් 1948 දෙසැම්බර් මස මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ඉදිරිපත් කරන ලදී. එය අයිතිවාසිකම් ක්‍රියාවලියෙහි ඉදිරි පියවරක් ලෙස පෙන්වාදිය හැකිය. එමඟින් සමස්ත මානවයා සතු අයිතිවාසිකම් පිළිබඳව පෙන්වාදුන්න ද ළමයා පිළිබඳව ද එහි සඳහන් කොට තිබේ. මෙහිදී අයිතිවාසිකම් භුක්තිවිඳීමේ දී හා ගරුත්වය ලැබීමේදී සෑම කෙනෙකුම සමාන බව මෙන්ම ළමයාට හා මවට විශේෂයෙන් ආරක්ෂාව හා අවධානය හිමි විය යුතු බව. යනුවෙන් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයෙහි සඳහන් වේ. ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සංගමය විසින් වරින් වර ඇති කරන ලද විවිධ සම්මුතීන් හරහා ද මේ බව හඳුනාගත හැකිය. 1959 නොවැම්බර් 20 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාකච්ඡා කොට සහතික කළශාරීරිකව හා මානසිකව නොමේරූ අවදියක සිටීමේ හේතුවෙන් ළමයකුට උපතට පෙර මෙන්ම උපතින් පසුව යෝග්‍ය නෛතික රැකවරණය ඇතුළුව විශේෂ ආරක්ෂාවන් හා රැකවරණය අවශ්‍ය බව සහතික කෙරිණියන අවස්ථාව හරහා ද ළමා අයිතිවාසිකම් පිළිබඳව ඔවුන් යම් අවධානයක් යොමු කර ඇති බව පෙනේ.
1974 දෙසැම්බර් 14 දින මහා මණ්ඩලයේ සම්මත වූ හදිසි අවස්ථාවක දී සහ සන්නද්ධ අරගල වලදී ස්ත්‍රීන්ගේ  හා ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ වූ ප්‍රකාශනයක් ඉදිරිපත් කරන ලදී. 1978 වර්ෂයජාත්‍යන්තර ළමා වර්ෂයවශයෙන් නම් කොට ළමා පරපුර වෙනුවෙන් කැප වූ වැඩසටහන්

රාශියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රාහකත්වයෙන් සිදු වීම හා එහිදී පෝලන්තය විසින් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියක් සඳහා ඇතුළත් විය යුතු කරුණු ඇතුළත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම හරහා ළමා අයිතිවාසිකම් පිළිබඳව ලෝක අවධානය යොමු වීය.  1979 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම මෙම කෙටුම්පත පුළුල් මෙන්ම වර්ධනය කිරීමටත් පිළිබඳව සොයා බැලීමටත් කණ්ඩායමක් පත් කරන ලදී. 1985 නොවැම්බර් 29 දින මහා මණ්ඩලයේ සම්මත වූ බාලයන් සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ රීතී ප්‍රකාශනය  (බෙයිජිං රීති) ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පෙනී යන්නේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව විවිධ අන්තර්ජාතික කෙටුම්පත්, ප්‍රකාශනයන් ඉදිරිපත් වී ඇති බවයි. 1986 දෙසැම්බර් මස 03 දින මහා මණ්ඩල යෝජනා සම්මුතියට අනුව පිළිදගුම් මව්පියන් පිහිටුවීම හා ජාතිකව හා ජාත්‍යන්තරව දරුකමට හදාවඩා ගැනීම පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත් වීය.
වසර 60 පමණ කාලයක් තිස්සේ ඇතිකරගත් සාකච්ඡා හා සම්මුතීන් හා සම්මන්ත්‍රණයන් සමූහයකගේ ප්‍රතිඵලයක් ලෙස විශ්ව ළමා ප්‍රඥප්තිය බිහිවීම හැඳින්විය හැකිය. ඉහත සියලු තත්ත්වයන් ඉදිරියට ගෙන යාමක් ලෙස 1989 නොවැම්බර් 20 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය විශ්ව ප්‍රකාශනයක් ලෙස සම්මත වීම සිදු වීය. මෙය ලොව පුරා සියලු ළමයින්ට හිමි විය යුතු ළමා අයිතිවාසිකම් ඇතුළත් ලියවිල්ල (විශ්ව ළමා ප්‍රඥප්තිය) ලෙස 1989 නොවැම්බර් මස 20 දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම ප්‍රඥප්ති‍යෙහි වගන්ති 54 ක් ඇතුළත්ව ඇති අතර එහි ඇති සෑම අයිතිවාසිකමක්ම සෑම ළමයෙකුටම ස්ත්‍රී පුරුෂ, ආගම්, ජාතීන්, සමාජ තත්ත්වය, භාෂාව ආදිය නොසළකමින් භුක්තිවිඳීමේ අයිතිය පවතී. මෙම විශ්ව ප්‍රකාශනය එළි දැක්වීමත් සමඟ ලොව පුරා සිටින ළමුන්ගේ ආරක්ෂාව හා පැවැත්ම තහවුරු වීම වඩා සාධනීය වීය. මෙතෙක් කල් පැවතියේ සමස්ත මානවයා සඳහා වූ නීති මාලාවක් පමණි. නමුත් ළමා අයිතිවාසිකම් ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමත් සමඟම ඔවුනටම වෙන් වූ අයිතිවාසිකම් පද්ධතියක් හිමි වීය. ඒ හරහා තවදුරටත් සමස්ත ලෝකය ළමුන්ට හිතකර ස්ථානයක් බවට පත් කිරීමට උත්සහ කරන ලදී.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමා අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනය එළි දක්වා එතැනින් එය නිමා නොකරන ලදී. එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සංවිධානය පිහිටුවීම ද ළමා අයිතිවාසිකම් ලද ජයග්‍රහණයකි. එය ළමුන් උදෙසාම වෙන් වූ සංවිධානයක් ලෙස පෙන්වාදිය හැකිය. එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන, රාජ්‍යන්, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජය සමඟ එක්ව ළමා අයිතිවාසිකම් ප්‍රචලිත කිරීමටත් ඒවා රැක ගැනීමටත් කටයුතු කරනු ලබයි. එපමණක් නොව 2001 සැප්තැම්බර් මාසයේ ලෝක රාජ්‍ය නායකයන්, තීරණගන්නන් හා ළමා ගැටලු පිළිබඳ විශේෂඥයන් නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ ළමයින් හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කරන ලදී. එහි දී ළමා අයිතිවාසිකම් මොනවාද හා ඔවුන්ගේ ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් ලෝක නායකයන් විසින් සාකච්ඡා කරන ලදී. 2002 වසරේ ළමුන් විකිණීම, ගණිකා වෘත්තියේ යෙදවීම සහ අසභ්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීම පිළිබඳ ළමා අයිතිවාසිකම් සම්මුතියට කරන ලද වෛකල්පිත ගිවිසුම මෙන්ම එම වසරේ දීම සම්මත කරන ලද ළමුන් සන්නද්ධ අරගලවලට හවුල් කර ගැනීම පිළිබඳ ළමා අයිතිවාසිකම් සම්මුතියට කරන ලද වෛකල්පිත ගිවිසුම පෙන්වාදිය හැකිය.
කෙසේ වෙතත් මේ ආකාරයට ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ගිය අන්තර් ජාතික යාන්ත්‍රණය පෙන්වාදිය හැකිය. එය වර්තමානය දක්වා ම විකාශනය වෙමින් වර්ධනය වී ඇති ආකාරය හඳුනාගත හැකිය.

ශ්‍රි ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ තත්වය.
ඉහත සඳහන් කරන ලද්දේ ලෝකය විසින් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගන්නා ලද ප්‍රයත්න යයි. ඒ අනුව ශ්‍රි ලංකාවේ ළමා අයිතිවාසිකම්වල ප්‍රගතිය පිළිබඳව ද අධ්‍යනය කිරීම වැදගත් වේ. කෙතෙක් දුරට ලංකාවේ ළමා අයිතීන් සුරැකේ ද ඒවා සුරක්ෂිත කිරීමට කොතරම් උත්සුක වේ ද යන්න මෙහි දී අධ්‍යනය කරනු ලබයි.
ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව විසින් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගන්නා ලද ප්‍රයත්නයන් පිළිබඳව හඳුනා ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම විවිධ අණ පනත් සංශෝධනය කිරීම මඟින් ළමා අයිතීන් සුරැකීමට පියවර ගෙන ඇත. ළමා අයිතිවාසිකම් පිළිබඳව අණ පනත් පැනවීම යටත් විජිත යුගයේ සිටම දක්නට ලැබුණු අතර වර්ෂ 1883 දී මුල් වරට සංග්‍රහ කරන ලද දණ්ඩනීති සංග්‍රහයේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබදව ප්‍රතිපාදන දැක්වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 75 සහ 76 වගන්ති අනුව වයස අවු:8ට අඩු දරුවකු විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් හෝ ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොලත් වයස අවු: 8 ට වැඩි නමුත් 12 ට අඩු දරුවකු විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් නීතිය අනුව අපරාධයක් ලෙස නොසැලකේ. එමෙන්ම වයස අවු:12ට අඩු දරුවකු දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු විසින් අතහැර දැමිම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන තවත් පනත් වන අතර ,1939 දී පනවන ලද ළමුන් හා තරුණයන් පිළිබදව ආඥා පනතද, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැලැක්වීම සදහා වන පනතද වැදගත් පනත් වේ. එමෙන්ම වයස අවුරුදු 14ට වඩා අඩු ළමුන් සේවයේ යෙදවීම ද දඩුවම් ලැබිය හැකි වරදකි.
ලංකාව නිදහස ලැබීමෙන් අනතුරුව ද විවිධ අණ පනත් කිහිපයක් ඉදිරිපත් කොට ඇත. ඒ පිළිබඳව අධ්‍යනය කිරීම වැදගත්ය.
1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනත
මෙහි විශේෂත්වය වනුයේ ළමා අපචාර පිළිබද වැරදි සම්බන්ධයෙන් පැනවිය හැකි උපරිම දඩුවම පමණක් නොව අවම දඩුවමද නියම කිරීමය. මෙම පනත මගින් අපරාධ වරදවල් ලෙස නිර්වචනය කර ඇති දේ:
*ළමයින් කෲර වධහිංසා වලට භාජනය කිරීම.
*ළමයින්ගේ අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම.
*ලිංගික අපචාරයන් සදහා ළමුන් සැපයීම.
*අසත්‍යය හෝ අශ්ලීල දර්ශනයකට හෝ ප්‍රකාශනයකට ළමයකු යොදා ගැනීම හෝ ඒ සදහා අනුබල ලබා දීම.
*එවැනි ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීම, විකිණීම බෙදා හැරීම හෝ ඒ සදහා අනුබල දීම.
1998 අංක 27 දරණ අධිකරණ (සංශෝධන) පනත
මෙම පනත මගින් ව්‍යවස්ථාපිත, ස්ත්‍රී දුෂණය හෙවත් වයස අවු 16ට අඩු ළමයකු දුෂණය කිරීම සම්බන්ධ නඩු කටයුතු වලදී මූලික
සාක්ෂි විභාගය යන අවශ්‍යතාවය ඉවත් කොට ඇත.මෙමගින් ළමා අතවර පිළිබද නඩු කඩිනම් කිරීමටත්, අතවරයකට ලක් වූ ළමයාට නැවත නැවත ස්වකීය සාක්ෂිය ඉදිරිපත් කිරීමේ කටුක අත්දැකීම් අවම කිරීමටත් හැකියාව ලැබී ඇත.
1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත
මෙම පනත මගින් පහත සදහන් කාරණ සම්බන්ධයෙන් වයස අවු :18ට අඩු ළමයින් යොදවා ගැනීම ඉතා බරපතල අපරාදයක් ලෙස නිර්වචනය කර,දඩුවම්ද නියම කොට ඇත.
*ළමුන් සිඟා කෑම සදහා යෙදවීම.
*ලිංගික සංසර්ගය සදහා ළමුන් කුලියට ගැනීම, සේවයේ යෙදවීම.
*සීමිත භාණ්ඩ, එනම් විෂ ද්‍රව්‍ය, අබිං හා වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා ළමුන් යොදවා ගැනීම.

අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත
මෙම පනත මගින් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනු ලබන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නම් ආයතනය පිහිටුවා ඇත. මෙහි අරමුණු:
*ළමා අපචාර වැලැක්වීම.
*අපයෝජනයට ගොදුරු වු ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම.
*ළමා අපයෝජනය පිටු දැකීම සදහා වන ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග සකස් කිරීම .
*සම්බන්ධීකරණය හා කළමණාකාරීත්වය.
2005 අංක 34 දරණ ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත
මෙම පනත පැනවීමේ මුඛ්‍ය පරමාර්ථය නම් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිටු දැකීමයි. ශාරීරික හෝ මානසිකව සිදුවන හෝ සිදුවීමට ඉඩ ඇති ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාවකටම එරෙහිව පියවර ගැනීම සදහා මෙම පනත යටතේ ප්‍රතිපාදන සලසා ඇත. මෙම පනතෙහි නියම කර ඇති ආකාරයට අයදුම් පත්‍රයක් පුරවා අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප්‍රචණ්ඩත්වයට එරෙහිව තහනම් නියෝගයක් අයැද සිටිය හැක.ළමුන්ට කාන්තාවන්ට පමණක් නොව ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්වන ඕනෑම පාර්ශවයකට මෙමගින් සහනයක් අයැද සිටිය හැක."ආරක්ෂක ආඥාවක්" ලෙස හදුන්වන ලබන ඉහත කී තහනම් බන්ධනය කඩකිරීම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.
මේ ආකාරයට ලංකාවේ නීති පද්ධතිය ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ගයන් පෙන්වාදිය හැකිය. එපමණක් නොව විවිධ ආයතනයන් හරහා ද ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත. Creating a Child Friendly and Protective Environment for Children යන දැක්ම යටතේ ළමා ආරක්ෂක අධිකාරිය නිර්මාණය කොට ඇත. එහි මූලික අරමුණ වන්නේ සියලුම ආකාරයේ හිංසනයන්ගෙන් ළමයා මුදවා ගැනීමයි. ඒ බව National Child Protection Authority acts for the regulation and coordinating of actions against all forms of child abuses by formulating necessary Policies for protection of children in the country with the intentions of child protection, prevention of child abuses, and rehabilitation of victimized children and reintegrate them to the society. යන්න හරහා හඳුනාගත හැකිය. එමෙන්ම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය ද ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනු ලබයි. එමෙන්ම 1929 ක්ෂණික දුරකථන අංක මඟින් ළමා අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හැකියාව පවති. සෑම පොලිස් ස්ථානයකම පිහිටුවා ඇති ළමා හා කාන්තා කාර්යංශයන් වෙත ළමුන් සඳහා වන ඕනෑම ආකාරයේ අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව පැමිණිලි කළ හැකිය. එමෙන්ම කම්කරු කොමසාරිස් කාර්යාලයන් හරහා ළමුන් සේවයේ යෙදවීම පිළිබඳව පැමිණි කිරීමේ හැකියාව පවතී. එපමණක් නොව මානව හිමිකම් කොමිසන් සභාවට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකිය. මේ ආකාරයට ලංකාවේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා මාර්ගයන් ගෙ ඇත.
ඉහත සඳහන් ආකාරයට ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විවිධ පියවර ගෙන තිබුණ ද විශාල වශයෙන් ළමා අයිතීන් උල්ලංඝණය වන බව ද හඳුනාගත හැකිය. විවධ අවස්ථාවන්හී දී ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වීම් දැකිය හැකිය. ළමුන් ඝාතනය කිරීම්, පැහැර ගැනීම්, අපයෝජනයට ලක් කිරීම්, පහරදීම්  මෙන්ම ශ්‍රමිකයන් වශයෙන් යෙදවීම් යනාදී වශයෙන් අයිතිවාසිකම් උල්ලංඝණය වීම් පෙන්වාදිය හැකිය. වර්තමානයේ පුවත්පත් දෙස අවධානය යොමු කිරීමේ දී ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වීම් රැසක් හඳුනාගත හැකිය.
ළමයාට අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇත. එය බිඳ දැමීමට කිසිවෙකුට අයිතියක් නොමැත. නමුත් කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක සිසුවෙකුගේ මවකට ඒඩ්ස් රෝගය වැළඳීම නිසා ඔහුව පාසලින් ඉවත් කරන ලදී. එම රෝගය වැළඳී තිබුණේ මවට මිස දරුවාට නොවේ. එය විශේෂ තත්වයන්හි හැර ක්ෂණිකව බෝ නොවන රෝගයකි. එවැනි අවස්ථාවක පාසලේ ගුරුවරුන් හා දෙමාපියන් එක්ව එම
සිසුවා පාසලින් නෙරපීම තුළින් ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝණයට ලක් වීය.   
ලංකාව තුළ සිදු වන තවත් ළමා අයිතිවාසිකම් කඩවීමක් ලෙස ළමුන් ලිංගික අපයෝජනයට ලක් කිරීම පෙන්වාදිය හැකිය. බොහෝ විට ජන මාධ්‍ය ඇසුරු කිරීමේ දී බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල තුළ දී අපයෝජනයට ලක් වන ආකාරය හඳුනාගත හැකිය. ගුරුවරුන් අතින් පමණක් නොව බීමත් පැමිණෙන පියවරුන් මඟින් මෙන්ම අසල්වැසියන් මඟින් ද ඔවුන් ලිංගික අපයෝජනයන්ට ලක් වේ. මෑතක දී සිදු වු ඉතා අන්දෝලනයට පත් සිදු වීමක් ලෙස දෙව්මි සේයා නැමති සිඟිත්තිය දූෂණය කොට මරා දැමීම පෙන්වාදිය හැකිය. මෙය එක් සිදුවීමක් වූවත් එවැනි සිදුවීම් රාශියක් ලංකාව තුළ සිදුවේ.
ලංකාව තුළ බහුල වශයෙන් සිදු වන තවත් ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් ලෙස ශ්‍රමිකයන් ලෙස ළමුන් යෙදවීම පෙන්වාදිය හැකිය.  බොහෝ විට මේ තත්වය උදා වන්නේ වීදි දරුවන් ලෙස හඳුන්වන පිරිසටය. කිසිවෙකුගේ අවු හරණක් නොමැකිව කාලය ගත කරන ඔවුන් නිසි පාසල් අධ්‍යාපනයක් ද නොලබයි. විටෙක යාචකයන් ලෙස ද ඔවුන් සිඟමන් යදියි. කොළඹ ප්‍රදේශයේ කඩ සාප්පු තුළ සේවය කිරීම මෙන්ම ලොතරැයි විකිනීම ඔවුන් සිදු කරයි. එපමණක් නොව ගොඩනැගිලි ඉදි කරන ස්ථානවල ශ්‍රමිකයන් ලෙසත් සේවයේ යෙදීමට ඔවුන්ට සිදුවේ. බස්නාහිර පළාත පුරා ඉතා දරුණු ලෙස සිදු වන මත්ද්‍රව්‍ය ගෙන යාම සඳහා ද මොවුන් යොදා ගනී. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් පවා නොමැති අතර ඔවුන් පිළිබඳව සොයා බැලීමට ද කිසිවෙකුත් නොමැත. ළමා ශ්‍රමිකයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එකවරම සහියට නැගෙන්නේ රිසානා නාෆික්ය. ඇය අවුරුදු 16 දී ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට මැද පෙරදිග ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන අතරතුර සිදු වූ අතපසුවීමක් නිසා සිය ස්වාමියාගේ දරුවා මරණයට පත්වීම හේතුවෙන් මරණ දණ්ඩණය නියම වීය. එමෙන්ම පුත්තලම, මීගමුව වැනි ප්‍රදේශවල බොහෝ ළමුන් පාසල් අධයාපනය අත්හැර ධීවර රැකියාවේ නිරත වන බව සමීක්ෂණයකින් හෙළි වී ඇත. කරවල වේලීම වැනි ක්‍රියාකාරකම්වල ඇතැමෙකු නිරත වන තර දෙමාපියන්ගේ දරිද්‍රතාවය නිසා ඇතැමෙක් නිවෙස්වලට වී කාලය ගත කරති. එපමණක් නොව යුද්ධ සමයේ එල්.ටී.ටී සංවිධානය විසින් දමිළ ළමුන් ළමා සොල්දාදුවන් ලෙස භාවිත කරන ලදී.
බොහෝ වයස අවුරුදු 14ට අඩු ළමුන් විවිධ රැකියාවන් සඳහා විටෙක ඔවුන්ගේ දෙමාපියන් විසින්ම යොදවනු ලබයි.  ඇතැම් විට විවිධ නිවාසවල සේවකයන් ලෙසත්, කර්මානතශාලා හෝ කඩ සාප්පුවල සේවකයන් ලෙස නිරතවීමට සිදුවීය. රූපවාහිනිය හා පුවත්පත් වලින් දුටු සිදුවීම් අනුව විටෙක ඔවුන්ට පහරදීම, පිලිස්සීම හෝ ආහාර පාන ලබා නොදී අධික ලෙස වැඩගැනීම දැකිය හැකිය. මෙවැනි සිදුවීම් රැසක් ලංකාව පුරා සිදුවීම ඉතා සෝචනීය කරුණකි. තම මව විදේශ ගත වූ පවුල්වල දරුවන්ට සිදුවන අයිතිවාසිකම් උල්ලංඝණය වීම් ද අපමණය. මව රට රැකියාවට යාමෙන් පසු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන අතරම ඔවුන්ට නිවසේ කටයුතු සිදු කිරීමට එනම් ආහාර පාන පිසීමට, නිවස ශ්‍රද්ධ පවිත්‍ර කිරීමට ආදී සියල්ලක්ම කිරීමට සිදු වේ. එපමණක් නොව ඇතැම්විට සිය පියාගේ ලිංගික අවශ්‍යතාවයන් ඉටු කිරීමට ද ඇයට සිදු වේ. මෙවැනි පුවත් සෑම දිනක පාහේ අසන්නට දකින්නට ලැබීම ජාතියක් වශයෙන් අප දෙවරක් සිතිය යුතු කරුණකි.
වීදි දරුවන් මෙන්ම පැල්පත් වාසී දරුවන් ද විශාල වශයෙන් අයිතිවාසිකම් උල්ලංඝණය වන පිරිසකි. ජීවත්වීමට සුදුසු පරිසරයක් ඔවුන්හට නොමැත. සෞඛ්‍ය, සනීපාරක්ෂාව, ආදරය, සෙනෙහස, ආරක්ෂාව, පෝෂණය ඔවුන්ට නැත. ඇතැම් දරුවන්ට අධ්‍යාපනය නොමැත. බොහෝ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, විවිධ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන්නන් බිහි වන්නේ මෙවැනි සමාජ පසුබිම් මතය. එම නිසා මෙම දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සැම දෙනාගේම යුතුකමක් සේ සැලකිය යුතුය.
 කෙසේ වෙතත් ලංකාවේ නීති පද්ධතිය හා ආයතනික ව්‍යුහය මඟින් විශාල වශයෙන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පියවර ගෙන තිබුණ ද එම නීතියේ ඇති හිඩැස් උපයෝගී කර ගනිමින් බොහෝ දෙනෙක් ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම්වල නිරත වන බව හඳුනාගත හැකිය.


Comments

Post a Comment