ඇන්තෝනියෝ ග්‍රාම්ස්චි (1891 – 1937)




                                                       1891 ඉතාලියේ සාර්දිනිස් නම් දුපතේ ආලේස් නගරයේ ඇත්තෝනියෝ ග්‍රාම්ස්චි ජීවත් විය. මොහු මාක්ස්වාදී අදහස් නවමු ආකාරයට ඉදිරිපත් කිරීමට උත්සාහ ගත්හ. ග්‍රාම්ස්චි කුඩාකළ සිටම ගත කලේ දුගී දුප්පත් ජීවිතයකි. එය තවදුරටත් ත්‍රීව වුයේ ඔහු කුඩාකළ සිට හීන සෞඛ්‍යය තත්ත්වයකින් පසුවීමත් , ඔහුගේ පියා සිරඟත වීමත් සමඟය. කෙසේ වුවද ඔහු කුමන බාධා මධ්‍යයේ වුවද තම අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන ගිය අතර 1911 දී ටියුරින් විශ්ව විද්‍යාලයට ඇතුළු වු අතර එහිදී ඔහුට මාක්ස් , ලෙනින් වැන්නන්ගේ ලේඛන පරිශීලනය කිරීමට හැකිවිය. ග්‍රාම්ස්චි මුලිකවම සමාජවාදියෙකි. එයට බලපා ඇත්තේ එකළ ඔහු ජීවත් වු ප්‍රදේශයේ Mezzogirono නම් පීඩිත ආණ්ඩුවට එරෙහිව දියත් වු සමාජවාදී අරගලයන්ය. මොහු විසින් සිදුකරන ලද රචනාවන් අතරින්  සිරඟතව සිටියදී ලියනු ලැබූ ලේඛණ වඩාත් වැදගත් වේ. ග්‍රාම්ස්චි අභ්‍යාස පොත්වල ලියු එම ලේඛන පසුකාලීනව Antonio Gramsci prison note book නමින්  ප්‍රසිද්ධියට පත්විය. ඔහුට අවසානයේදී 1937දී මිය යෑමට සිදුවුයේද සිරකරුවෙකු ලෙසයි. ඔහු තම ලිපි ලේඛන තුළින් මුලිකවම උත්සාහ කරනු ලැබුවේ සමාජවාදය ඉතාලිය තුළ ස්ථාපිත කිරීමටයි.
                                                           ග්‍රාම්ස්චිගේ  දර්ශනය  මාක්ස්ගේ දර්ශනය ඇසුරෙන් ගොඩනැගුණද , ග්‍රාම්ස්චිගේ දර්ශනය තුළ මාක්ස්ගේ දර්ශනය අභිබවා ගිය නව සංකල්පයන් කීපයක්ම අන්තර්ගතව පවතී. විශේෂයෙන්ම මාක්ස්ගේ ආර්ථික නියතිවාදය විවේචනය කළ විවේචකයින් ග්‍රාම්ස්චිගේ අදහස් දුටුවේ න්‍යායවාදී මාක්ස්වාදයෙන් බැහැරව ධනවාදී සමාජයේ දේශපාලන සංකීර්ණතා ඉතා හොඳින් ග්‍රහනය කර ගැනීමට මෙන්ම මාක්ස්වාදී න්‍යාය වර්ධනය කිරීමටද ප්‍රබල දායකත්වයක් ලබාදුන් ඒවා ලෙසයි. ‘‘ග්‍රාම්ස්චි යනු උපරි ව්‍යුහයේ මාක්ස්වාදී න්‍යායධරයාය’’ යනුවෙන් ද ග්‍රාම්ස්චිව හදුන්වයි. මේ තුළින් පෙනී යන්නේ මාක්ස්වාදී අදහස් එකළ පැවති දේශපාලන සංකීර්ණතාවලට අනුකූල වන පරිද්දෙන් ග්‍රාම්ස්චි තම අදහස් ඉදිරිපත් කොට ඇති බවයි. ග්‍රාම්ස්චි එකල පැවති විවිධ සමාජවාදී අරගල අධ්‍යයනය කළ අතර ඒ තුළින් ඔහු එලැඹි නිගමනයක් වුයේ පාලක පන්තියේ තීරණාත්මක සාධකය වන්නේ සංස්කෘතිය බවයි. ග්‍රාම්ස්චි වැඩි අවධානයක් ලබා දුන්නේ සංස්කෘතියටය. එය මාක්ස් දැක්වු ආර්ථික නියතිවාදයෙන් වෙනස් වේ. මාක්ස්වාදය නවමු ආකාරයට ඉදිරිපත් කිරීමට ග්‍රාම්ස්චි ගත් උත්සාහය ඔහුගේ අදහස් ඔස්සේ අපට වාඩාත් හොඳින් තහවුරු වේ.
                                                                                                                                                                                                                           ඒ අනුව පලමුව උපරි ව්‍යුහය හා අධෝ ව්‍යුහය පිළිබඳව ග්‍රාම්ස්චිගේ අදහස් සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමේදී, පලමුව අප කාල් මාක්ස් විසින් උපරි ව්‍යුහය හා අධෝ ව්‍යුහය නැතිනම් පදනම පිළිබඳව දැක්වු අදහස් සම්බන්ධයෙන් යම් වටහා ගැනීමක් ලබාගත යුතුය. එයට හේතුව වන්නේ ග්‍රාම්ස්චි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ මාක්ස්ගේ විග්‍රහයට එල්ල වු විවිධ විවේචන වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස වීමයි. එනම්, ග්‍රාම්ස්චි උත්සාහ ගත්තේ මාක්ස්ගේ උපරි ව්‍යුහය සහ අධෝ ව්‍යුහය පිළිබඳ අදහස් වලට එල්ල වු විවේචන හමුවේ මාක්ස්ගේ විග්‍රහය  සංශෝධයට ලක් කරමින්  නවමු ආකාරයක මතවාදයක් ගොඩනැඟීමටය. 
                                                        ඒ අනුව සමාජයක ආර්ථික පදනම අධෝ ව්‍යුහය ලෙස ගන්නා කාල් මාක්ස් එම ආර්ථික පදනම මත උපරි ව්‍යුහය ගොඩනැගෙන බව පවසයි. මෙහිදී මාක්ස් සමාජයක ආර්ථික පදනම නියතිවාදී ලෙස ගනී. එනම්, සෑම දේකම පදනම ආර්ථිකය වන බවයි. ඒ අනුව නිෂ්පාදන බලවේග හා සබඳකම් ඇතුළත් ආර්ථික අත්තිවාරම ආර්ථික පදනම නැතිනම් අධෝ ව්‍යුහය ලෙස හැඳින්විය හැකි අතර උපරි ව්‍යුහය යන්නෙන් සමාජ ආයතන , ආගම , සංස්කෘතිය , අධ්‍යාපනය නීති , දෘශ්ටීන් වැනි දේ අදහස් වේ. මාක්ස් පවසන්නේ සමාජයක පවතින ආර්ථික  පදනම එම සමාජයේ උපරි ව්‍යුහය සකස් වීම සඳහා මුලික වන බවයි. වහල් , වැඩවසම් , ධනවාදී අවධීන් වලදී එක් එක් අවධීන්ට අනුරූප වන පරිදි උපරි ව්‍යුහයන් සකස්ව පැවතුනේ ආර්ථික පදනමේ බලපෑමෙනි. එනම්, එකිනෙක ආර්ථික රටාවන්ට අනුකූල වන පරිදි එක් එක් අවධීන් වලදී නීති , ආගම් , විශ්වාසය , අධ්‍යාපනය වැනි දේ සකස් වන්නට යෙදුනි. නමුත් මාක්ස් ආර්ථික නියතිවාදයක් තුළ සිටිමින් සිදුකරන මෙම විග්‍රහය පසුකාලීන චින්තකයින්ගේ විවේචනයට ලක් විය.
                                                     නමුත් ග්‍රාම්ස්චි උත්සාහ ගත්තේ ආර්ථික නියතිවාදයකට නොවැටෙමින් මාක්ස්ගේ මෙම විග්‍රහය තවදුරටත් පෝෂණය කිරීමටයි. එනම්, ග්‍රාම්ස්චි දක්වන ආකාරයට සමාජයක උපරි ව්‍යුහය සකස් වීමේදී ආර්ථික පදනම මෙන්ම සංස්කෘතිය යන්නද වැදගත් වේ. එමනිසා මාක්ස් ආර්ථික පදනමට ප්‍රමුඛස්ථානයක් දෙමින් තම අදහස් ඉදිරිපත් කරන විට ග්‍රාම්ස්චි සංස්කෘතිය යන්නට මුලික ස්ථානයක් ලබා දෙමින් තම අදහස් ඉදිරිපත් කරයි. උපරි ව්‍යුහය පිළිබඳ අදහස් දක්වන ග්‍රාම්ස්චි එහිදී ප්‍රධාන සංකල්ප දෙකක් ඉදිරිපත් කරයි. එනම්, අතරමැඳියන්ගේ සටන හා ස්ථානීය සටන ලෙසයි. රුසියාවේ දේශපාලන උපරි ව්‍යුහය දුර්වල එකක් විය. එයට හේතුව එහි අතරමැඳියන් නොමැති වීමයි. නමුත් ඉතාලිය තුළ ශක්තිමත් උපරි ව්‍යුහයක් ඇත. එයට හේතුව අතරමැඳි උපරි ව්‍යුහයක් තිබීමයි. මේ නිසා මධ්‍යම ආණ්ඩුව ආක්‍රමණය කිරීමට නම් ප්‍රථමයෙන්ම අතරමැඳි ව්‍යුහයන් විනාශ කර දැමිය යුතුයි. එම සටන හැඳින්වීම සඳහා ග්‍රාම්ස්චි අතරමැඳියන්ගේ සටන යන සංකල්පය ඉදිරිපත් කළේය. මේ අතරමැඳියන්ගේ සටන ක්‍රියාත්මක කිරීමට පෙර දිගුකාලීන සටනක් උපරි ව්‍යුහය තුළ සිදුකිරීමට විප්ලවයට සිදු වේ. ඒ උපරි ව්‍යුහය තුළ සවිඥානික වී ඇති වැරදි අදහස් වලට එරෙහිවයි. එම සටන ස්ථානීය සටන යන සංකල්පයෙන් හැඳින්වේ.
                                                                  ග්‍රාම්ස්චි උපරි ව්‍යුහය සකස් වීමේදී සංස්කෘතියෙහි ඇති වැදගත්කම දක්ෂිණ ගැටලුව හා ජාතික මතය යන සංකල්ප ඔස්සේ පැහැදිලි කරයි. ග්‍රාම්ස්චිගේ දේශය තුළ උතුරු හා දකුණු පළාත තුළ පන්ති භේදයක් දක්නට ලැබුණි. මේ අතරින් උතුරු පළාතේ වාසය කළ ජනයා ධනවත් නිෂ්පාදන ක්‍රමවේදයක් හිමි පිරිසකි. දකුණු පළාතේ ජනයා පහත් සංස්කෘතියකට උරුම කම් කියයි. ග්‍රාම්ස්චිට අනුව පන්ති භේද වලින් තොර ප්‍රගතිශීලි රාජ්‍යයක් බවට ඉතාලිය පත් කිරීමට නම් මෙම ජන කොටස් දෙක එකට සම්බන්ධ කළ යුතුයි. ඒ අනුව දක්ෂිණ ගැටලුව හා ජාතික මතය යනු ඒ සඳහා ඉදිරිපත් වු සංකල්ප දෙකකි. ග්‍රාම්ස්චි පෙන්වා දෙන ආකාරයට දකුණු පළාතේ ජනතාව ප්‍රදේශීය භාෂාව භාවිතා කිරීම  හා උතුරු පළාතේ ජාතික භාෂාව මනාව හැසිරවිය හැකි බුද්ධිමතුන් වීම මෙම පළාත් දෙක අතර බෙදීමක් ඇති කිරීමට හේතු විය. ඒ නිසා ඔවුන්ට දේශපාලනමය වශයෙන් සම්මුතියකට පැමිණිය නොහැකි විය.
එමෙන්ම ඉතාලි සාහිත්‍යය හා ජනප්‍රිය සංස්කෘතියද මෙම භේදය ඇතිවීමට බලපෑහ. මේ නිසා ජාතික මතයක් ගොඩනැඟීමට අසීරු බව ග්‍රම්ස්චි පෙන්වා දේ.  මේ අයුරින් උපරි ව්‍යුහය සකස් වීමේදී සංස්කෘතියෙහි ඇති වැදගත්කම ග්‍රාම්ස්චි ඉතාලිය නිදසුනක් ලෙස ගෙන පැහැදිලි කොට තිබේ. ග්‍රාම්ස්චිගේ මෙම අදහස් මුලිකවම  මාක්ස් පැවසු ආර්ථික නියතිවාදය හා දේශපාලන උපරි ව්‍යුහය ඉක්ම වුවකි.
                                                     නායක අධිපත්‍යය (Hegemony) යන්නද ග්‍රාම්ස්චිගේ දාර්ශනික ව්‍යාපෘතිය තුළ අපට හමුවන වඩාත් වැදගත් දේශපාලනික අදහසක් ලෙස හදුන්වා දිය හැකි අතර ග්‍රාම්ස්චි රාජ්‍යය පිළිබඳව දැක්වු අදහස්හි කේන්ද්‍රීය සංකල්පය වන්නේද මෙම නායක අධිපත්‍යය නම් සංකල්පයයි. සරල අර්ථයෙන් ගත් කල්හි නායක ආධිපත්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ රාජ්‍යය බලය හිමි පාලක පන්තිය රාජ්‍යයේ අනෙකුත් සියලු සමාජ පන්ති අභිබවා සහ ඒ මත පවත්වාගෙන යනු ලබන අධිපතිවාදී බලයයි. නමුත් ග්‍රාම්ස්චි මෙහිදී අධිපතිවාදී බලය යනු මර්දන බලයම නොවන බව පැහැදිලිව දක්වා ඇත. එය ලෙනින් වැනි මාක්ස්වාදී දාර්ශනිකයින්ගේ මතයෙන් වෙනස් වේ. නායකත්වය පිහිටුවීම යන්න කිසිදු දේශපාලන සමාජයක මර්ධනයෙන් පමණක් කළ හැක්කක් නොවේ. මතවාදී ආකාරයෙන් විවිධ පන්ති , සමාජ ස්ථර හා ශ්‍රේණීන් තම මතයට දිනා ගැනීම ඕනෑම රජයක් අත්‍යාවශ්‍යයෙන්ම කළ යුත්තකි. එනම්, මින් අදහස් වන්නේ රාජ්‍ය බලය හිමි පාලක පන්තිය තම අධිපතිවාදී බලය සමාජයේ පාලිත පන්තිය කෙරෙහි පවත්වාගෙන යනු ලබන්නේ මර්ධනය තුළින් පමණක් නොවන අතර පාලිත පන්තිය මතවාදීමය අයුරින් දිනාගැනීමද වඩාත් වැදගත් බවයි. ඒ නිසා ග්‍රාම්ස්චි ඉදිරිපත් කරන්නේ මර්ධනය තුළින් පමණක් නොව පාලිතයන්ගේ ස්ව-කැමැත්ත මත ගොඩනගනු ලබන නායක ආධිපත්‍යයකි. මෙහිදී සිදුවන්නේ ජනයා නොදැනුවත්වම පාලක පන්තියේ පාලනයට කැමැත්තෙන්ම නතු වීමකි. නිදසුනක් ලෙස ගතහොත්, ග්‍රී ලාංකීය දෙමල ජනතාවගෙන් බහුතරය යුද්ධයට කැමති වුවද අකමැති වුවද , එල්.ටී.ටී.ඊ සංවිධානය විසින්   ජනතාවගේ පක්ෂපාතීත්වය ඊට ලබාගෙන තිබීම දැක්විය හැකියි. මෙම හෙජමොනිය සංකල්පය නැතිනම් නායක ආධිපත්‍යය සංකල්පය පාලන ත්‍රන්තයකදී වඩාත් වැදගත් වන අතර පාලනයන්ට සුජාත බවක් ලැබී ඇත්තේ මේ තුළින් බව ග්‍රාම්ස්චි පෙන්වා දේ.
                                                 ප්‍රති ආධිපත්‍යය (Counter hegemonic) නම් සංකල්පය තුළින් ග්‍රාම්ස්චි ඉහත නායක ආධිපත්‍යය තුළදී පාලක පන්තිය තම ආධිපත්‍යය පිහිටුවීමේදී මර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා පාලිතයන්ගේ කැමැත්ත දිනා ගැනීම වැදගත් බවත් පෙන්වා දුනි. ඒ අනුව පවතින පාලන ක්‍රමය වෙනස් කිරීමටද මර්ධනය මෙන්ම කැමැත්තද අවශ්‍ය බව ඔහු කීය. මෙහිදී ග්‍රාම්ස්චි පෙන්වා දෙන්නේ ධනේශ්වර රාජ්‍ය ත්‍රන්තයට එරෙහිව සටන් වඳින කම්කරු පන්තියට සාර්ථක විය හැක්කේ රාජ්‍ය යන්ත්‍රනය අත්පත් කර ගැනීමෙන් පමණක් නොවන අතර ඒ සඳහා සිවිල් සමාජය මත පිහිටුවන විකල්ප බුද්ධිමය , මතවාදීමය , සංස්කෘතික ආධිපත්‍යයක් ගොඩනඟා ගැනීමද වැදගත් වේ. එනම්, පවතින නායක ආධිපත්‍යයට ප්‍රතිවිරුද්ධ හෙජමොනියක් සමාජය තුළ ස්ථාපිත කළ යුතු බවයි.
                                                            මීට අමතරව ඉතාලිය එක්සත් කිරීමේ තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේදී බුද්ධිමතුන්ගේ කාර්යභාරය හා එය දේශපාලනික කළ හැක්කේ කෙසේද? යන්න ග්‍රම්ස්චි පෙන්වා දේ. ග්‍රාම්ස්චිට අනුව, ඕනෑම පුද්ගලයෙකුට කිසියම් ලෝක දැක්මක් හා තම බුද්ධිමය ආවේගයන්ට අනුව කටයුතු කළ හැකි වන අතර එමනිසාම සියල්ලන්ම බුද්ධිමතුන් වේ. බුද්ධිමතුන් හෝ බුද්ධිමතුන් නොවන ලෙස බෙදිය හැක්කේ ඔවුන්ගේ චින්තනය හෝ ලෝක දැක්ම මත නොව සමාජයෙන් ඔවුන්ට බුද්ධිමය ක්‍රියාවක් නිමවී ඇද්ද? යන කරුණ මතයි. බුද්ධිමතුන් විවිධ පන්ති පදනම් වලින් බිහිවන අතර පාලක පන්තියට සම්බන්ධ බුද්ධිමය පිරිසක් හා පාලිත පන්තිවලින් එන බුද්ධිමය පිරිසක් සිටින බව ග්‍රාම්ස්චි පෙන්වා දේ. එමෙන්ම ග්‍රාමීය බුද්ධිමතුන් , නාගරික බුද්ධිමතුන් , ඓන්ද්‍රීය බුද්ධිමතුන් ලෙස බුද්ධිමතුන්ගේ විවිධ කොටස් කීපයක් පිළිබඳවද ග්‍රම්ස්චි තම අවධානය යොමු කරයි. තවද, පාලක පන්තියේ මතවාදී ආධිපත්‍යයට ජනතාව නතු කරගැනීමේදී බුද්ධිමතුන්ගේ කාර්යභාරය මුලික හා සුවිශේෂී වන බවද ග්‍රාම්ස්චි පෙන්වා දේ.  
                                                                 ඒ අනුව මෙවැනි මුලික අදහස් හා මතවාද වලින් සමන්විත ග්‍රාම්ස්චිගේ සමස්ථ දාර්ශනික ව්‍යාපෘතිය දෙසට අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ ඔහු මුලිකවම මාක්ස්ගේ දර්ශනය ගුරුකොට ගනිමින් තම අදහස් ඉදිරිපත් කලද, තමන්ටම ආවේණික වු යම් යම් නවමු සංකල්ප ඉදිරිපත් කරමින් මාක්ස්වාදය පෝෂණය කර ඇති බවයි. එමෙන්ම ග්‍රාම්ස්චි තම නවමු සංකල්ප ඔස්සේ බටහිර මාක්ස්වාදයටද ප්‍රබල දායකත්වයක් සපයා ඇති අතර බටහිර මාක්ස්වාදය පිළිබඳව ග්‍රාම්ස්චිගේන් තොරව සාකච්ජා කිරීමද කළ නොහැකි අසීරු කටයුත්තකි.












Comments