කෝල්බෲක් වාර්තාවේ වැදගත්කම

යුරෝපා ජාතීන්ගේ ආගමනය ආසියා, අප්‍රිකා, ලතින් අමරිකානු කලාපයේ රාජ්‍යන් හි ඉදිරිගමනට විශාල බලපෑමක් වීය. ආසියාතික රාජ්‍යක් වශයෙන් ශ්‍රී ලංකාව ද 1505 වර්ෂයේ සිට පෘතුගීසීන්ගේ බලපෑමත්, 1658 සිට ලන්දේසීන්ගේ ග්‍රහණයටත්, 1796 සිට ඉංග්‍රීසීන්ගේ යටතටත් පත් වීය. පිළිවෙළින් පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට යටත් කරගත හැකි වූයේ ලංකාවේ පහතරට මුහුදුබඩ ප්‍රදේශයන් පමණි. නමුත් ඉංග්‍රීසීන් ලංකාවේ මුහුදු බඩ පෙදෙස් ප්‍රථමයෙන් ලබාගෙන පසුව 1815 මාර්තු මස 02 දින සමස්ථ ලංකාවේම පාලනය අල්ලා ගන්නා ලදී. බ්‍රිතාන්‍යන් ලංකාව පාලනය ගෙන යන අවස්ථාවේ දී මුල් කාල පරිච්ඡේදයේ ඔවුන්ගේ ආදායමට වඩා වියදම වැඩි වීය. මේ නිසා ඒ පිළිබඳව සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය කිරීටය රාජකීය කොමිසමක් පත් කොට එවන ලදී. 1829 වර්ෂයේ දී විලියම් කෝල්බෲක් සහ චාල්ස් හේ කැමරන් ලංකාවට පත් කරන ලදී. විලියම් කෝල්බෲක් බ්‍රිතාන්‍යයේ ජ්‍යේෂ්ඨ සිවිල් සේවකයෙක් වූ අතර චාල්ස් කැමරන් ප්‍රකට නීතිවේදියෙකු වීය. ඔවුන් ලංකාවේ පැවති බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය පිළිබඳව සොයා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් දේශීයන් පිළිබඳව සොයා බලමින් කොල්බෲක් කොමිසම විසින් ස්වකීය වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත් මේ හරහා කොල්බෲක් කොමිසන් සභා වාර්තාව හරහා කොමිසන් සභා වාර්තාවන් කෙතරම් දුරට වැදගත් වේදැයි සාක්ච්ඡා කරනු ලබයි.
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ඔහුගේ Ceylon under British occupation කෘතියෙහි මෙවැනි අදහසක් කෝල්බෲක් කොමිසන් වාර්තා පිළිබඳ දක්වයි. “1833 වර්ෂය වූ කලී ලංකා ඉතිහාසයේ නිශ්චිත වූත් ඉතා වැදගත් වූත් සංධිස්ථානයකි. පාලකයින්ට දැනට...ප්‍රතිසංවිධානය කරුණු හා නවීකරණ කරුණු පරිපාලන ක්‍රමයක් ඇති ව දිවයින විවෘත කිරීමේ හා එහි සම්පත් සංවර්ධනය කිරීමේ කාර්ය කිසි අවහිරයක් නොමැති ව පිවිසිය හැකිවීය. ඒකධිකාරී සම්ප්‍රදායය...අවසාන වශයෙන් බිඳ හෙලනු ලැබ, පුද්ගලික ප්‍රාග්ධනය මගින් දිවයින ආර්ථික හා වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා මාර්ගය විවෘත වීය.”  යනුවෙන් ඔහු දක්වයි. ඒ අනුව කෝල්බෲක් කොමිසම විසින් ඉදිරිපත් කළ වැදගත් යෝජනාවක් ලෙස ධනවාදී ආර්ථික ක්‍රමයක් පිළිබඳ අදහස වැදගත් වේ. බ්‍රිතාන්‍යන් ලංකාවට පැමිණෙන සමයේ ලංකාවේ ස්වයං පෝෂිත යැපුම් කෘෂි කර්මාන්තයක් පැවතියේය. බ්‍රිතාන්‍යන්ගේ ආගමනයෙන් පසුව එය යම් දුරකට වාණිජ ආර්ථකයක් බවට පත් වූවත් ලංකාව නව ලෝකයට සරිලන පරිදි නිදහස් ආර්ථිකයකට එනම් ලිබරල් ආර්ථිකයකට යොමු කරනු ලබන්නේ කෝල්බෲක් කොමිසන් නිර්දේශයන් හරහාය. එතෙක් අප වාණිජ ධනවාදයට ලක්ව සිටි අතර මෙම නිර්දේශයන්ට අනුව කාර්මික ධනවාදයට අප යොමුවීය. මන්ද කෝල්බෲක් සහ කැමරන් ලිබරල් සහ උපයෝගිතාවාදීන්ගේ අදහස්වලින් පෝෂණය ලැබූවන් නිසාය. සමාජයේ පැවති වැඩවසම් කෘෂි ආර්ථික ලක්ෂණයන් ඉවත් කරමින් නූතන ලෝකයේ කාර්මික ආර්ථිකයකට අවශ්‍ය පදනම සකස් කරනු ලැබීය. විශේෂයෙන්ම වතු අර්ථ ක්‍රමය හඳුන්වාදීම තුළින් ලංකා ආර්ථිකයේ නව යුගයකට අප තල්ලු කරනු ලදී. ඒසේම රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කළ අතරම ආයෝජකයන් මෙන්ම විදේශීය සමාගම් ලංකාවට පැමිණි අතර විදේශීය බැංකු ලංකාව තුළ ආයෝජනයන් සිදු කරන ලදී. . ආර්.බී කාසන්, ඩාලි බට්ලර්, මැක්වුඩ්ස්, ජේ.එම් රොබට්සන්, ජෝර්ජ් ස්ටුවර්ට්, වොල්කාට් බ්‍රදර්ස්, විල්සන්, කාර්ගීල්ස්, රිචී සහ සමාගම ආදී ප්‍රමුඛ පෙලේ සමාගම් ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඒකරාශී වීය. එමෙන්ම චාර්ටඩ් මර්කන්ටයිල් බැංකුව (1859), මදුරාසි බැංකුව (1867), ඔරියන්ට් බැංකුව (1878 වතුකරයේ ශාඛාව), ඉන්දියන් මර්කන්ටයිල් බැංකුව (1881), චාර්ටඩ් බැංකුව (1893), හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව (1893) වර්ෂයන්හීදී ලංකාවේ අයෝජනයන් සිදු කරන ලදී. කෙසේ වෙතත් ලංකාව තුළ කෝපි, තේ, රබර් සහ තවත් සුළු අපනයන භෝගයන් රැසක් හඳුන්වා දෙන ලදී. වර්තමානයේ ද ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ නැතහොත් ප්‍රධාන ජාතික ආදායම් වන්නේ මෙම වැවිලි භෝගයන්ය. අනෙක් අතට ලංකාව තුළ යම් කර්මාන්ත ජාලයක් ඇති කළ කරන ලදී. කුමාරී ජයවර්ධන පෙන්වාදෙන ආකාරයට ලංකාව තුළ සිදුව ඇත්තේ “එක් ස්වදේශික මහත්මයෙක් නිෂ්ක්‍රීයභාවය පිළිබඳ පැරණි නිර්වාණයක් බුලත් මඩිස්සලයක් ඉවත දමා ඉතා මැනව’යි අනුමත කරන ලද මොඩලයේ එන්ජිමක් හා අන් සියලු උපකරණ සහිත විශාල කෝපි ඉස්ටෝරුවක් කොළඹ නගරය තුළ පටන්ගෙන අනුකරණයට ඉතාමත් උචිත වෙළඳ ව්‍යාපාරයක් පිළිබඳව ආදර්ශයක් එමඟින් සිය රට වැසියන්ට සපයයි.”  වැනි ආර්ථික පරිවර්තනයකි.
එසේම ලංකාවේ පැවති රදල වැඩවසම් සමාජීය හා ආර්ථික ලක්ෂණයන්ට බැඳ තබා තිබූ ඇතැම් අංගයන් ඉවත් කිරීමට කොල්බෲක් කොමිසම පියවර ගන්නා ලදී. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීමට පියවර ගැනීම ඉන් එකකි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යන් මෙය දුටුවේ
ජනතාවගේ ශ්‍රමය ඉතා අමානුෂීය අන්දමින් බලහත්කාරයෙන් ලබාගැනීමක් බවයි. බොහෝවිට මෙම රාජකාරී ක්‍රමය වෙනුවෙන් සේවය සඳහා ඔවුන්ට කිසිදු මුදලක් ලබා නොදුන් අතර ස්වේච්ඡාවෙන් සේවය කිරීමට සිදුවීය. කෝල්බෲක් මෙය දුටුවේ ඉතා ක්‍රෑර දෙයක් වශයෙනි. කුල ධූරාවලිය අනුව මෙය සකස් වීය. බ්‍රිතාන්‍යන් කුල ධූරාවලිය ප්‍රතික්ෂේප කරන ලදී. මේ නිසා සමාජය තුළ කුලය මත පදනම්ව සමාජ භේදය අහෝසි කිරීම සඳහාත් සමාජය තුළ තිබූ කුලය පදනම් කරගත් රැකියාවන් අහෝසි කරලීමටත් ඔවුන්ගේ නිර්දේශය වීය. අනිාවර්ය රාජකාරීය දේශීය නිළදාරීන් ඉතා අමානුෂීය ලෙස ජනතාව යොදවා ගනිමින් පොදු කටයුතුවල නිරත කරවූ අතර ගම්මානවලින් බැහැරව දින ගණනාවක් වාසය කිරීමට සිදු වීම සහ කුලය පදනම් කරගනිමින් දේශීය ප්‍රධානීන් විවිධ තාඩන පීඩන ඇති කිරීම කෝල්බෲක් පිළිකෙව් කරන ලදී. මෙම ලක්ෂණය ශ්‍රි ලංකාව තුළ නවීකරණය වීමට බාධාවක් බව හඟවා එය අහෝසි කිරීමට ඔවුන් යෝජනා කරන ලදී.
එසේම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා කොල්බෲක් යොජනාවන් වැදගත් වීය. ප්‍රධාන ලක්ෂණයක් වූයේ ලංකාවට නියෝජිත ආණ්ඩු ක්‍රමයක් හඳුන්වාදීමයි. මෙතෙක් රාජාණ්ඩු සමයේ හෝ ප්‍රාග් කෝල්බෲක් යුගයේ හෝ නියෝජිත ආණ්ඩු ක්‍රමයක් නොවීය. ඒ අනුව දේශීයයන් නියෝජනය කිරීම සඳහා මෙන්ම දේශීයයන්ට පාලන කටයුතුවලට සම්බන්ධවීම සඳහා මෙලෙස ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය කරන ලදී. මෙය ඡන්දය මඟින් පත් නොකොට නාමකරණය හරහා නියෝජිතයන් පත් කළ ද ප්‍රථම වරට ව්‍යවස්ථාදායකයක් පහිටුවීම ඉතාමත් වැදගත් ලක්ෂණයක් වීය. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි වර්ධනය සඳහා කළ ආයෝජනයක් වීය. එක් අතකින් දේශීය නායකයන්ට පාලන කටයුතු පිළිබඳව අත්දැකීම් ලබාගැනිම සඳහා වූ විශ්ව විද්‍යාලයක් බඳු වීය. අනාගත නායකයන් බිහි කිරීම සඳහා කදිම තෝතැන්නක් වීය. එමෙන්ම ශ්‍රි ලංකාවේ ද බ්‍රිතාන්‍ය ක්‍රමයේ වෙස්ට්මිනිස්ටර් ආදර්ශයේ පාර්ලිමේතුවක් නැතහොත් ව්‍යවස්ථාදයක මණ්ඩලයක් බිහි කිරීමේ මූලික ව්‍යායාමය මෙයෙ ලෙස හඳුනාගත හැකිය. පසුකාලීනව ලංකාවේ ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් නිර්මාණය වීමට හේතු වීය. ඒ අනුව ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම උදෙසා කෝල්බෲක් කොමිසම ඉතා වැදගත්වී ඇති බව පෙන්වාදිය හැකිය.
අනෙක් අතින ලංකාව තුළ සිවිල් සේවයක් නිර්මාණය වීමට ද මෙම කොමිසම වැදගත් වීය. එතෙක් ලංකාවේ නිළධාරීන් සිවිල් සේවකයන් ලෙස බ්‍රිතාන්‍ය රජයට සේවය නොකළ අතර මෙම කොමිසමේ නිර්දේශයක් අනුව ක්‍රියාත්මක වීය. රාජ්‍යයක සේවා අංශය ඉතා වැදගත් වෙයි. දේශීයයන් ද සිවිල් සේවයේ ලිපිකරු වැනි ශ්‍රේණි සඳහා බඳවා ගැනීම හරහා ඔවුන්ට ද බිතාන්‍යන් සමඟ කරට කර ගැටෙමින් පරිපාලනයේ දී ඔවුන් මුහුණදෙන ගැටලු හඳුනාගනිමින් ලංකාවේ සිවිල් සේවයේ කටයුතු කිරීමට හැකි වීය. එය නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ දේශීය සිවිල් සේවයක් බිහි කරගැනීමට මෙන්ම දේශීය නිළදාරීන්ට බ්‍රිතාන්‍යන් යටතේ උසස්වීම් ආදිය ලබා ගැනීමට උපකාරී වීය. ඒ අනුව ලාංකිකයන්ට සිවිල් සේවය හඳුන්වාදෙමින් නව කෝණයක් වෙත ලංකාව ගෙනයාම වෙනුවෙන් කෝල්බෲක් කොමිසන් සභාවාර්තාව ඉතා වැදගත් වෙයි.
එමෙන්ම ලංකාවට බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයන් හඳුන්වාදීම ද කොමිසම විසින් සිදු කළ වැදගත් කර්තව්‍යකි. බ්‍රිතාන්‍යන් පැමිණිමට පෙර ලංකාවේ පැවතියේ පිරිවෙන් අධ්‍යාපනයකි. පන්සල කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම අධ්‍යාපනය තළ ගැටලු රාශියක් දැකගත හැකිවීය. එනම් පිරිවෙන් අධයාපනය ලබා ගැනීමට හැකි වූයේ එක්තරා කුලවත් හා වංශවත් පිරිසකට පමණි. මේ හේතුවෙන් දුප්පත් කුල හීන ජනතාවන්ට අධ්‍යාපනය ලැබීමට වූ අයිතිය නැතිවී යන ලදී. එමෙන්ම කාන්තාවන්ට මේ යුගයේ අධ්‍යාපනය ලැබීමට පවා අවස්ථාවක් නොවීය. මෙය පුරුෂ කෙන්ද්‍රීය අධ්‍යාපනයක් වීය. පන්සල තුළ කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීම තුළ ආගමික ශික්ෂණයට බාධාවක් වීය. කෙසේ වෙතත් කෝල්බෲක් කොමිසම විසින් ලංකාවට නව අධ්‍යාපන රටාවක් හඳුන්වාදෙන ලදී. අනෙක් අතට එහි කිසිදු පන්ති භේදයකින් හෝ කුල භේදයකින් තොරව අධයාපනය ලබා දුන් අතර කාන්තාවන්ට ද අධයාපනය ලැබීමට හැකි වීය. දේශීය ශාස්ත්‍රීය විෂයන්වලින් ඔබ්බට ගිය නව දැනුම් පරාසයක් වෙත දේශීයන් ගෙන යන ලදී. එය සමාජය වෙළාගෙන තිබූ අන්ධානුකරණයෙන් ගලවා ගැනීමට ද කිසිදු දිනෙක අධයාපනය අයිතිය හිමි නොවූ පිරිස්වලට සාක්ෂරතාවය හිමිවීමට එය හේතුවක් වීය. සී.ඩබ්.ඩබ් කන්නන්ගර ශ්‍රීමතණාන් විසින් නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වාදෙන්නේ ද තත් ආකෘතිය යටතේය.
අනෙක් අතින් සමාජයේ සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය වැනි ලක්ෂණයන් සමාජය තුළට පැමිණෙනු ලබන්නේ කෝල්බෲක් කොමිසම් වාර්තාවන් හරහාය. විහේෂයෙන් කුල ක්‍රමය හා බැඳී තිබූ සමාජයන් වල සිටි ජනතාව වෙත යම් සාධාරණීත්වයක් ඉටු කළ අතරම ඔවුන්ට සමාජයේ අනෙක් පැලැන්තීන්වලට මෙන්ම සමාජයේ ඇති ඉඩකඩ පිළිබඳව පෙන්වාදෙන ලදී.
විලියම් කෝල්බෲක් සිවිල් සේවාවන්හි ප්‍රතිසංස්කරණයන් පිළිබඳව අදහස් දැක් වූ අතර චාල්ස් හේ කැමරන් අධිකරණ හා නීති පද්ධතිය පිළිබඳව ප්‍රතිසංසකරණ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලදී. එතෙක් පැවති දුර්වල අධිකරණ ක්‍රමය වෙනුවට ලංකාවේ ශක්තිමත් අධිකරණයන් උදෙසා අඩිතාලම තබන ලදී. එතෙක් යුරෝපීයන්ට වෙන් වූ අධිකරණ අහෝසි කොට දෙපාර්ශවයට සාධාරණ වූ අධිරණ ක්‍රමයක් පිහිටුවීය. දිස්ත්‍රික් උසාවි පිහිටවූ අතර ඈපෑල උසාවියක් මෙන්ම අධිකරණ මුද්දර ගාස්තු ඉවත් කරන ලදී. බොහෝ විට දේශීයයන් වැඩිහිටියන් හෝ ගමේ ප්‍රභූන් ඉදිරියේ ගැටලු සහ ආරවුල් විසඳා ගන්නා ලදී. මෙම නව අධිකරණ පද්ධතිය හරහා විධිමත් ලෙස නීතිය මෙහෙයවන ලදී. අනෙක් අතට නීතියේ ආධිපත්‍ය මේ කොමිසන් සභා වාර්තාව හරහා ඉදිරියට පැමිණි ලක්ෂණයක් ලෙස පෙන්වාදිය හැකිය. එන්ම නීතියට අනුව පාලනය ගෙනයාම හෙවත් නීතිය උත්තරීතර කොට සැලකීමයි. එසේම අධීකරණයේ ස්වාධීනතාවය පිළිබඳ මූලධර්මය හඳුන්වාදෙන ලදී. ආණ්ඩුකරු පවා අධිකරණයට බලපෑම් කිරීමෙන් ඉවත් කරන ලදී. යහපාලනය පිළබඳ වූ සංකල්පය ද මෙරටට හඳුවාදුන්නේ කෝලබෲක් කොමිසම විසිනි.   The Charter of Justice proposed by Cameron introduced a uniform system of judicial administration and helped to establish an independent judiciary as the basis of good government. These reforms were also intended to serve as an effective check on the abuse of executive powers. But, more significantly, they laid the basis for the rule of law and the protection of the equal rights of all individuals within an open and accountable judicial system යන්න එස්.බී කුක්ගේ Imperial Affinities කෘතිය තුළින් වටහා ගත හැකිය.
ලංකාව තුළ සුභසාධනවාදී රාජ්‍ය සංකල්පය හඳුන්වාදීමට පුරෝගාමී සේවයක් මෙම කොමිසම මඟින් සිදු කරන ලදී. ලංකාවේ විවිධ අංශයන් අන්ත නොදියුණු මට්ටමක තිබූ අතර අධ්‍යාපන, කෘෂිකර්ම, මංමාවත්, සෞඛ්‍ය ආදී විවිධ ක්ෂේත්‍රයන් ඉදිරියට පැමිණෙනු ලබන්නේ කෝල්බෲක් කොමිසම මඟිනි. විශේෂයෙන්ම ලංකාවේ මහා මාර්ග සහ දුම්රිය මාර්ග පිලිබඳව සලකා බලන විට එච්. ටී බස්නායකයන්ගේ රජරට ශිෂ්ටාචාරය ග්‍රන්ථයෙන්හි සඳහන් වන්නේ 1820 දී පමණ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ මූලිකත්වයෙන් මහා මාර්ග ඇති කිරීමට පියවර ගත්තේය.කොළඹ මහනුවර, මාතලේ දඹුල්ල, හලාවත කොළඹ මාතර, අඹේපුස්ස කුරුණෑගල දඹුල්ල, කුරුණෑගල මහනුවර ආදී ප්‍රධාන මාර්ග කිහිපයක්ම ඉදි වීය. පසුව විල්මට් හෝර්ටන් ආන්ඩුකරු යටතේ ද විශාල මාර්ග සංඛ්‍යාවක් බිහිවීය. 1848 මාර්ග පනත නිසා මාර්ග තැනීම තවත් වේගවත් වීය. වතුවගාව වර්ධනයත් සමඟම එම වේගය තවත් වැඩිවීය. “වෝර්ඩ් ආණ්ඩුකාරයාගේ පාලන කාලය (1855-1860) සැතපුම් 3000ක හොඳ මාර්ග ඉදි වී තිබුනු අතර ඉන් සැතපුම් 213ක් පමණ නිසි පරිදි පාලම් සහ බෝක්කු යොදා සකස් කොට තිබුණි.” .එසේම ලංකාවේ මහා මාර්ග පද්ධතියට අමතරව දුම්රිය මාර්ග පද්ධතියක් ද ආරම්භ කරන ලදී. එංගලන්තයේ අඩු මුදලකින්  ප්‍රවාහන කටයුතු දුම්රිය හරහා සිදු කළ හැකි වූ බැවින් ඔවුන් දුම්රිය භාවිතය ආරම්භ කළේය. ලංකාවේ වතුකරුවන්ගේ සහ සේවකයන්ගේ දැඩි විරෝධය යටතේ  දුම්රිය ආරම්භ කෙරුණි. 1863 වර්ෂයේ දුම්රිය දෙපාර්තමේන්තුවක් වශයෙන් පත් කොට කොළඹ මහනුවර දුම්රිය මාර්ගය නිර්මාණය කරන ලදී. 1867 දී එය විවෘත කරන ලදී. අනතුරුව මහනුවර මාතලේ මාර්ගය, පේරාදෙණිය නාවලපිටිය මාර්ගය, නාවලපිටිය නානුඔය බණ්ඩාරවෙල මාර්ග 1894 පමණ වන විට අවසන් කරන ලදී. පසුව 1904 පමණ වන විට කොළඹ මාතර, මරදාන යටියන්තොට, නානුඔය රාගල, රාගම පුත්තලම දුම්රිය මාර්ගයන් අවසන් කරන ලදී. එසේම ඔවුන් ලංකාවේ වරාය පද්ධතිය ද සංවර්ධනය කරන ලදී. ඒ අනුව 1866 දී පමණ කොළඹ වරායේ දියකඩනයක් ඉදි කරමින් එය වර්ධනය කිරීමට කටයුතු කරන ලදී. යනුවෙනි. එසේම ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ලංකාවේ පාසල් නිර්මාණය කරන ලදී. රෝහල් ඇතුළු විවිධ ගොඩනැගිලි හා යටිතල පහසුකම් වර්ධනය කරන ලදී.
අනෙක් අතට දේශීය මධ්‍යම පන්තියක් බිහිකිරීමට ද කෝලබෲක් කොමිසන් සභා යෝජනාවන් වර්ධනය වීය. වතු වගාවන් සඳහා දේශීයන්ට ද අවස්ථාව උදා කරදුන් අතර එලෙස දේශීය උගත් මධ්‍යම පන්තියක් බිහිවීමට අවස්ථාව මඟ පෑදුනි. ඔවුන් වතුවගාව හරහා මෙන්ම අරක්කු රේන්ද හරහා විශාල ධනස්කන්ධයක් හිමිකර ගන්නා ලදී. නිදසුනක් ලෙස චාල්ස් ද සොයිසා පෙන්වාදිය හැකිය. දොන් බස්තියන් ප්‍රකාශ කරන අන්දමට චාල්ස් සොයිසාගේ දූවරුන් හය දෙනාට එක් දුවෙකුට රුපියල් 200000 බැගින් දෑවැදි දී ඇත. ....චාල්ස් ද සොයිසා මිය යනවිට ඔහුට සහ ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ හතලිහක වත්කම් තිබී
ඇත. ඉන් 36 ලක්ෂයක් බස්නාහිර,මධ්‍යම හා දකුණු පළාත්වල ඔවුන්ට අටත්ව තිබූ වටිනාකම්ය. ඒ අතර හෙන්රි අමරසූරිය, දොස්තර ඩබ්. ඒ ද සිල්වා, එල්.ඩබ්.ඒ ද සොයිසා, සී.ඊ.ඒ ඩයස්, දොස්තර මාකස් ප්‍රනාන්දු, එච්. වොට්සන්, ජේ.එල්.සී පීරිස්, ප්‍රෙඩී අබේසුන්දර, ඊ.සී ද ෆොන්සේකා, ඩැනියෙල් ප්‍රනාන්දු, ඊ.එල් ඊබ්‍රහීම්  ලෙබ්බේ මරික්කාර්, ඇලිස් කොතලාවල, ඊ.ජී ආදමලී වැනි පිරිස් සහ ඔවුන්ගේ පසු පරම්පරාවන් වතුවගාව නිසා  ධනවතුන් බවට පත් වීය.  පසුව මොවුන්ගේ ඉදිරි පරම්පරාවන් බ්‍රිතාන්‍ය ආදී රටවල අධ්‍යාපනය ලැබ ලංකාවේ ජාතික ව්‍යාපාරයන් පවා සංවිධානය කරන ලදී. මේ අනුව මෙවැනි මධ්‍යම පන්තියක් බිහිවීම කෙරේ හේතු වූයේ ද කොල්බෲක් කොමිසන් සභා වාර්තාවන්ය.
තත් ආකාරයට කොමිසන් සභා වාර්තාවක් වශයෙන් කොල්බෲක් කොමිසන් වාර්තාවේ ඇති වැදගත්කම පෙන්වාදිය හැකිය. විශේෂයෙන් තවදුරටත් එය ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනික ක්ෂේත්‍රයන්හි වර්ධනයට හා ඉදිරි ගමන කෙරේ විශාල දායකත්වයක් ලබා දුන් බවයි. නමුත් බොහෝ ඉතිහාස විචාරකයන් විසින් පෙන්වාදෙන්නේ මෙම කොමිසම විසින් ඉදිරිපත් කරන ලද න්‍යායාත්මක ලක්ෂණ ප්‍රායෝගික ක්ෂේත්‍රය තුළ  ක්‍රියාත්මක වීමේ දී යම් පරස්පර විරෝධතාවන් දැකිය හැකි බවයි. එනම් Differentiation of colonial theory and practice යන්නයි. යටත් විජිත න්‍යාය සහ භාවිතයේ ඇති වෙනස්කම්ය. ඔවුන් ලංකාවට ධනේෂ්වර ආර්ථිකයත්, වතු වගාවත් හඳුනාදුන් අතර ඒ මුවාවෙන් දේශීයන්ගේ ඉඩම් කොල්ලකමින් ඔවුන්ගේ ජීවනෝපායන් අවහිර කරන ලදී. නිදසුනක් වශයෙන් 1887 ආණ්ඩුවේ උප ඒජන්තවරයා විසින් සිය පාලන වාර්තාවේ වලපනේ ජනතාව පිලිබඳව අදහස් දක්වයි.
ප්‍ර: ඔහේලා කවුද?
උ: අපි වලපනේ මිනිස්සු
ප්‍ර: ඇයි, ගමෙන් පිටවෙලා ආවේ?
උ: අපේ දේපල උන්හිටි තැන් නැති වුණා.
ප්‍ර: කොහොමද එහෙම වුණේ?
උ: අපේ වී බද්ද ණය ඔහේ එකතු වෙන්න ඉඩ ඇරිය අවුරුදු දෙක තුනක්ම. ඊට පස්සේ එක පාරට ගෙවන්න අණ කලා. කිසිම අනුකම්පාවක් පෙන්නුවෙ නෑ. අපේ මුළු සේසතම විකුණුනා.
ප්‍ර: දැන් මොකද කරන්නේ?
උ: අපි වැඩක් හොයාගෙන යනවා. පණ ගැටගහගන්න ක්‍රමයක්
ඉහත සංවාදය තුළින් පෙනී යන්නේ ද තත් තත්වයයි. ඔවුන්ගේ දේශපාලනික අභිප්‍රායන් මුදුන් පමුණුනා ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභා ක්‍රමයක් පිහිට වූ අතර දේශීයන් පිරිසක් පරිපාලනයට යොදා ගැනීම බ්‍රිතාන්‍යන්ගේ වියදම අවම කර ගැනීම සහ එහෙයියන් පිරිසක් බිහි කරගැනීම පිණිස වෙයි. අධයාපනය තුළින් ද ඔවුන් උත්සහ දැරු වේ එයයි. පන්සල සමඟ ජනයා ඒකරාශී වී සිටින තාක් ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නොහැකි වෙයි. එම නිසා ක්‍රිස්තියානිය ප්‍රචාරයටත්, බ්‍රිතාන්‍ය ගැති දේහීය පිරිසක් බිහි කරලීමටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරන ලදී. මේ අනුව පෙනී යන්නේ කොමිසන් සභා වාර්තාවේ ඉතා වැදගත් ලක්ෂණයන් රැසක් පැවතියත් ඉහත පෙන්වාදුන් ආකාරයට ඔවුන්ගේ අරමුණු ඉටු කරගැනීම සඳහා වක්‍රව ගෙනෙන ලද යෝජනාවන් බවයි.

Comments

Post a Comment